March 3, 2024

ජාතික වකුගඩු ආයතනයේ (මාලිගාවත්ත වකුගඩු රෝහලේ) වායුසමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබීම හේතුවෙන් එහි සිදුකෙරෙන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නවත්වා දැමීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇතැයි දැකිය හැකිය.

වසර දෙකකට පෙර සිට මෙම වායුසමීකරණ පද්ධතිය වරින් වර අක්‍රිය වෙමින් පැවැති අතර මීට මාස කිහිපයකට පෙර සිට සමස්ත රෝහලේම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වී තිබේ.

විශේෂයෙන්ම ශල්‍යාගාරවල වායුසමීකරණ නැතිවීමෙන් සැත්කම් සිදුකිරීම බරපතළ දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන බවත්, ඖෂධ ගබඩා කිරීමේදී උෂ්ණත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න ඇතිවීමේ අවදානමක් ඇති බවත් එහිදී පෙනීයයි.

වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වී තිබීම හා ඒ පිළිබඳ ගෙන ඇති පියවර ගැන විමසා ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ පත්‍රිකාවකට පිළිතුරු ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල දන්වා ඇත්තේ, එය අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කිහිපවතාවක් දැනුම්දුන් බවය.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉන්ජිනේරු සේ) විසින් මිලියන 117ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

වායුසමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම කැඩී තිබීම නිසා කුඩා වායුසමීකරණ යන්ත්‍ර දෙකක් රෝහලේ ස්ථාන දෙකක සවිකොට ඇතත් එයින් ප්‍රශ්නය විසඳීමට නොහැකි බව එහි කළ සංචාරයේ දී රෝහල් කාර්ය මණ්ඩල පවසයි.

“මෙහෙ ඒසී පද්ධතියේ ‘කම්ප්‍රේෂර්’ දෙක කැඩිල තියෙන්නේ ‘කොයිල්’ ගෙනත් ‘රෙපයාර්’ කරන්න පුළුවන්. එහෙම කරල සම්පූර්ණ අලුත්වැඩියාවක් ආරම්භ කරන්න ඕන. එහෙම කරන්නේ නැහැ. කෝටි 12ක් විතර වියදම් කරල අලූත් එකක් ගේන්න හදනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ‘බිස්නස් එකක් කරන්න හදන්නේ. දැන් රෝහලේ විදුලි බිල ලක්ෂ පහයි. මේක රෙපයාර් කරල පාවිච්චි කරන්න ගත්තොත් ලයිට් බිලත් අඩුවේවි.” කාර්ය මණ්ඩල සාමාජිකයෙක් කීවේය.

රෝහලේ වෛද්‍යවරයකු කියා ඇත්තේ, ශල්‍යාගාරවල වායුසමනය කර නැති විට සැත්කම් කිරීම වෛද්‍යවරුන්ට නොව සැත්කමට බදුන්වන රෝගියාට අවදානම් සහගත බවය. එහෙත් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින රෝගීන් වෙනුවෙන් සියලු අපහසුතා මධ්‍යයේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නොනවත්වා කිරීමට වෛද්‍යවරු කටයුතු කරන බවද හෙතෙම පවසා ඇත.

රෝගීන් විශාල පිරිසක් සායන සඳහා එහි රැස්ව සිටි අතර රෝහල් තදබදය විශාල වශයෙන් දැකිය හැකිය.

ජාතික වකුගඩු ආයතනයේ මේ වනවිට වකුගඩු රෝගීන් 20,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින අතර නව රෝගීහු 250කට ආසන්න පිරිසක් මාසිකව අලුතින් ලියාපදිංචි වෙති.

ඉකුත් වසරේ පමණක් එහි සැත්කම් 55ක් සිදුකර ඇති අතර මේ වසරේ ද ගතවූ දෙමස තුළ එහි සැත්කම් 10ක් සිදුකළ බවත්, එය සිදුකරනු ලැබුයේ වායුසමීකරණ ප්‍රශ්නය උග්‍රව පැවැතිය දී බවත් වාර්තා සඳහන් කරයි.(මව්බිම)

42.31%
17.27%
32.76%