42.31%
17.27%
32.76%
October 12, 2023

මා මෙය ලියන මොහොතේ ද මගේ වම්පසින්, දකුණුපසින්, ඉදිරියෙන් පසුපසින්, උඩින් සිටින්නා වෙනෙකෙකි. මා ලියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් කියැවූ සහ මා කියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් අසා සිටි මිනිසා ය. ශ්‍රියන්ත මෙන්ඩිස්ට, කමල් අද්දරආරච්චිට, මහේන්ද්‍ර පෙරේරාට, ජූඩ් ශ්‍රීමාල්ට සහ මට එක බත් මුට්ටියෙන් බත් බෙදාදුන් එක්තරා දයාබර මාතාවක විසින් ඔහු හඳුන්වනු ලැබුවේ මැල්සි යන නමිනි.

මේ මැල්සි අප විසින් හඳුන්වනු ලැබුවේ ජැකා යනුවෙනි. ඒ ජැකාගේ සම්පූර්ණ නම මැල්සි ජෝශප් ජැක්සන් ඇන්තනි ය.

ඔබ මට සමාව භජනය කරන්නේ නම් ඔබට නොසඟවා කිවයුතු දෙයක් මට තිබේ. ඒ මා මෙය ලියන්නේ ඔබ කිසිවකුත් වෙනුවෙන් නොවන බව ය. මා මෙය ලියන්නේ ජැකා වෙනුවෙනි. ජැකා සතුටු කිරීමට ය.

අප සමහර දෙනකුගේ මෙන්ම ජැකාගේ ද ජීවිත පරමාර්ථය වූයේ අනුන් සතුටු කිරීම ය. වර්තමානයේ තරම්ම මනෝවිකාරී සමාජයක් (psychotic society) නොපැවති ඒ කාලයේ ද ජැකා ඕනෑවට වඩා අනුන් සතුටු කිරීමට ගොස් බැනුම් ඇසුවේ ය. ඔහු තුළ තිබූ ධී ශක්තිය හෙවත් මිනිසකු උත්පත්තියෙන් ලබන විශේෂ ඥානය හේතුවෙන් අප හැමටම නැති එකවර දක්ෂතා රැසක් ප්‍රකාශයට පත්කිරීමේ ගුණයක් ඔහුට තිබිණි. චිත්‍ර අඳින්නට ද, නටන්න ද ගයන්න ද, වයන්න ද කියවන්න ද, ලියන්න ද, මෙහෙයවන්න ද රඟපාන්න ද ඔහු හැමවිටම සූරයා විය.

මාර්ටින් වික්‍රමසිංහ, මහගමසේකර, අමරදේව, ජෝ අබේවික්‍රම වැනි ධී ශක්තිය පිළිබඳව අප රටෙන් දැක්විය හැකි කදිම නිදර්ශන අතරට ජැක්සන් ඇන්තනි එක්කිරීමෙන් ඒ පෙළ නොබිඳෙයි. වඩාත් උද්දීප්තියට පත්වෙයි. වටහාගත හැකිවෙයි.

ධී ශක්තිකාරකයන් යනු මිනිස් අවස්ථාවන් (human situations) යැයි මම සිතමි. මක්නිසාද ඔවුන් බිහිවන්නේ කෙසේදැයි කවර සමාජ විද්‍යාවකින්වත් පැහැදිලි කළ නොහැකි නිසා ය.

එහෙත් ජැක්සන් පිළිබඳව අප කවුරුත් දන්නා කරුණු අපට මෙසේ ගොනුකළ හැකි ය. රාගම පොඩි වී කුඹුර සුන්දර ග්‍රාමයේ බෙනඩික් ඇන්තනි සහ රෝලින් පෙරේරා යුවළට දාව වර්ෂ 1958 ජුලි 08 වැනිදා උපත ලැබූ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී එම පවුලේ දෙවැනි දරුවා විය. කඳාන, හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ජැක්සන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවන්නේ ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ය.

වරක් මා කැටිව හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයට ගිය ජැක්සන්, එහි තමා උගත් පන්ති කාමරයේ බිත්තිවල එවකටත් තිබුණු ඔහු විසින් අඳින ලද චිත්‍ර පෙන්වීය. ඒ වනවිටත් චිත්‍ර ශිල්පය පිළිබඳව ඔහු තුළ වූ හැකියාව මම දැන සිටියෙමි. මම එකල මල්ටිෆැක්ස් ආයතනයේ සිත්තර පත්‍රයට son of Spartacus නැතහොත් ”‍ස්කාගස්”‍ නමින් චිත්‍රකතාවක් රචනා කරමින් සිටියෙමි.

උක්තාඛ්‍යාත මාරු කරමින් යම් කාව්‍යමය රීතියකට අනුව සිදුවන මගේ රචනා විලාසයට බෙහෙවින් ප්‍රිය කළ සිත්තර සංස්කාරක කැමිලස් පෙරේරා මහතා (ගජමෑන්) එවකටත් ජැක්සන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාවට මගේ කතාවක් එක් කිරීමේ අරමුණ ඇතිව ”‍සුහද”‍ නමැති එම ආයතනයේම පළවන තවත් චිත්‍රකතා පත්තරයකට චිත්‍රකතාවක් ඉදිරිපත් කරන්නැයි අපට කීවේය. ඒ අනුව මා රචනා කළ ”‍ධවල භීෂණ”‍ නම් කතාව ජැක්සන් කදිම චිත්‍ර කතාවකට නැඟු‍වේය.

පොඩි වී කුඹුරේ සිට මෙහි කොටස් කීපයක් තුරුළු කරගෙන බ්ලූමැන්ඩල් පාරේ මල්ටිෆැක්ස් කාර්යාලයට යන ජැක්සන්ගේ ජීවිතයේ ඉතා වැදගත් කඩඉමක් ආරම්භ වන්නේ මේ අතරය. ඒ උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට තේරීම ය.

කෙසේ වුවද ජැක්සන් විශ්වවිද්‍යාලය ඥාන ගවේෂණ මාර්ගයක් ද, සරස්වතී මණ්ඩපයක් ද කර ගත්තේය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකේය වේදිකාවේ අපගේ අප්‍රමාණ නාට්‍ය වීරයා වූ සුගතපාල ද සිල්වාට ජැක්සන්ගේ ශරීර භාෂණය හසුවීමය. ජැකා සුගත් අයියාගේ පැරණි ”‍දුන්න දුනුගමුවේ”‍ නාට්‍යයේ ද ”‍ඇසළ සඳ අවන්හල”‍ නාට්‍යයේ ද රඟපෑවේ ය. ”‍මරාසාද්”‍ නාට්‍යයේ ජීවත්වූයේ ය.

මරාසාද් වූ කලී එක්කෝ නළුවකු ඉහළටම ඔසවා තබන නාට්‍යයකි. නැතහොත් ඔහු හොම්බෙන්ම පහළට යවන නාට්‍යයකි. පීටර් උල්රිච් වයිස් නමැති ජර්මානු නාට්‍ය රචකයාගේ එනමින් යුත් සංගීතමය නාට්‍යයේ පීටර් බෲක් නිෂ්පාදනය, පරිවර්තනයක් වශයෙන් ගෙන එමින් සුගතපාල ද සිල්වා කළ මරාසාද් නිෂ්පාදනය දේශීය නාට්‍ය වංශයේ විශිෂ්ටතම නාට්‍ය කෘතියක් වශයෙන් සළකුණු තැබීමට ඉවහල් වන කරුණු තුනක් වේ. එකක් සුගතපාල ද සිල්වාගේ අධ්‍යක්ෂණය ය. දෙක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ය. තෙවැන්න යොන් පෝල් මරාගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනි ය.

මේ මරාසාද් පිළිබඳව සන්දර්භ විෂය‍යික විග්‍රහයක් (contextual analysis) කිරීමට අවස්ථාවක් නොවේ. එහෙත් මෙම පිටපතේ ඇති වචන සහ වාක්‍යවල කෝෂාර්ථයන් ලිහා ගනිමින් ඒවායේ පැවැති අනේකාර්ථ මෝචනය කරවමින් ජැක්සන්, යොන් පෝල් මරාගේ චරිතය නිර්මාණය කළ ආකාරය, චරිතයක ඇතුළාන්ත ජීවිතය වේදිකාවක් මත දිගහැරීම පිළිබඳ පාඩමක් වැනිය.

අනෙක ඔහු මේ එකම කාල වකවානුවේ නළු මුළු රූපණය (ensemble playing) බහුල වශයෙන් යොදාගැනුණු මගේ ”‍අත්”‍ නාට්‍යයේත්, ශෛලිගත රූපණය භාවිත කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ”‍ලෝමහංස”‍ නාට්‍යයේත්, ගීතමය රංග වින්‍යාසයක් සහිත ලූෂන් බුලත්සිංහලගේ ”‍තාරාවෝ ඉගිලෙති”‍ නාට්‍යයේත් නිරතවීම කවර පුදුමයක්ද?

තවත් පුදුමයක් තිබේ. 16 වතාවක් හොඳම නළුවා සිනමා සම්මානය ලබාගත් වෙනත් කිසිදු නළුවකු ශ්‍රී ලංකාවේ ඇතැයි මම නොසිතමි. ජැක්සන් චරිත නිරූපණය කොට ඇති සියලු‍ම චරිතවල එකතුවට සාපේක්ෂව බැලු‍වත් මෙය ද විස්මයකි. එහෙත් මේ විස්මයට හේතුව යම් පමණකට පහදා දිය හැකි යැයි මම සිතමි. මේ සඳහා උද්ධෘත කරගත හැකි සිනමාකරුවන්, නාට්‍යකරුවන් කොතෙකුත් ඇතත් මා හැරෙන්නේ තෝල්ස්තෝයි වෙතට ය. කලාව වූ කලී අන්‍යයන් ආසාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකැයි කීවේ තෝල්ස්තෝයි ය. එය සාහිත්‍යකරුවන්ට පාඩමක් මුත් රූපණ ශිල්පීන්ට නම් අනිවාර්ය කරුණකි.

රූපණ ශිල්පීහු තමන්ට ලැබෙන චරිත විඳිති. ඒ විඳීම් තමන් වෙතින් ප්‍රකාශයට ද පත්කරති. ඒ සඳහා ඔවුන් දක්වන සමත්කමේ ප්‍රමාණයට ප්‍රේක්ෂකයෝ ආසාදනය වෙත්. මේ අරභයා වන දියුණු ක්‍රමවේදයක් මිස චක්කරයක් නැත. ශරීරය සහ මනස අතර සබඳතාවේ පවත්නා උභතෝකෝටිකයන් (body and mind dilemmas) චක්කරයක් මෙන් කටපාඩම් කොට මතක තබාගත හැක්කක් නොවෙයි.

මෙය කදිමට අවබෝධ කොටගෙන සිටි ජැක්සන් තමන්ට ලැබෙන චරිත විඳීම් සහ ප්‍රකාශයට පත්කිරීම් වෙනුවෙන් හැමවිටම එකිනෙකට වෙනස් ආඛ්‍යාන ප්‍රයෝග (narrative devices) යෙදවීය. ඒවා අතර ස්වභාවිකවාදී ප්‍රවේශ ද, යථාර්ථවාදී ප්‍රවේශ ද, අධියථාර්ථවාදී ප්‍රවේශ ද, ශෛලිගත ප්‍රවේශ ද විය. චිත්‍රපට රංගනය නම් මෙසේ විය යුතුය, නාට්‍ය රංගනය නම් මෙසේ විය යුතුය වශයෙන් වට්ටෝරුගත කරන ලද මළකඩ බැහැර කළ ඔහු, ශ්‍රී ලාංකික සබුද්ධික ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට ද, සම්මානයට ද වැඩි වශයෙන් පාත්‍රවිය.

ජැක්සන් පිළිබඳ මගේ කතාව මෙතැනින් නිමකළ හැක්කක් නොවේ. එහෙත් මට මේ කඩිමුඩියේ කළ හැක්කේ මා ඔහුට වඩාත් සම්බන්ධ ක්ෂේත්‍රයක ස්මරණයන් අවුළුවා ගැනීම පමණකි. ජැක්සන් තුළ සිටි ගැඹුරු දාර්ශනිකයා, ගවේෂකයා, ගායකයා, ගීත රචකයා, ගුරුවරයා, ඉතිහාසඥයා,ලේඛකයා ගැන සේ ම ඒ හැමටම වැඩිය දයාබර පියා, සුමිතුරා පිළිබඳව ද මට තව බොහෝ දේ කිව හැකිය. ලිවිය හැකි ය. එහෙත් ඒ ස්මරණයන් සියල්ලම මා සමඟ හිඳිමින්, මා සමඟ ගමන් කරමින් මා සමඟ සංවාදයේ යෙදෙමින් සිටිනු දැකීමට මා වඩාත් කැමති ය.

(ජයන්ත චන්ද්‍රසිරි ලියා ලංකාදීප පුවත්පතේ පළකර තිබූ ලිපියකි)

42.31%
17.27%
32.76%