December 15, 2023

පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා තබාගෙන සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම, ගිනිගත්හේන, ගම්පොළ, හුංගම, රත්නපුර, වේයන්ගොඩ සහ කඳාන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා මොහු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

කූට ලේඛන හරහා ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල මුද්‍රා සොයාගෙන ඇත.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටළීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 61 හැවිදි අයෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ නිල මුද්‍රා, විවිධ පෞද්ගලික ආයතනවල නිල මුද්‍රා, නීතිඥවරුන්ගේ නිල මුද්‍රා කිහිපයක්ද සොයාගෙන තිබේ.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ව්‍යාජව සකස් කළ මෙම මුද්‍රා උපයෝගි කරගෙන මොහු ව්‍යාජ ලෙස රියැදුරු බලපත්‍ර සකස් කරන බව විමර්ශනයේදී හෙළි වී ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ ලිපිද මොහු විසින් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි කියයි.(මව්බිම)

42.31%
17.27%
32.76%