42.31%
17.27%
32.76%
October 4, 2024

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවස ඉදිරිපිටට පසුගිය පළමුවැනිදා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ කෑ කෝ ගසා බැණ වැදී තර්ජනය කර පළා ගිය කාන්තාවට සමාව දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පෙරේදා (2) සවස කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඇය මුදා හැරිය බව පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මෙම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.

විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර පැමිණිලි විභාගයේ දී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එම කොට්ඨාසයේ වගකිවයුතු පොලිස් නිලධාරියකු හිටපු ජනාධිපතිවරයාටදුරකථන ඇමැතුමක් ගත් අවස්ථාවේ ඔහු එම කාන්තාව සමග කතා කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කතා බහෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇයට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද පොලිසියට කැඳවා සිටි මෙම කාන්තාව තමා කළ වරද පිළිගෙන ඇති බවද කියැවේ.

මෙම කාන්තාව හිටපු ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බව ද දැන ගැනීමට ඇත.

මෙම කාන්තාවගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව ඇය මුදාහළ බව පොලිසිය කියයි.

ඇය කළ වරදේ බරපතළකම ද මෙම පැමිණිල්ල විභාග කළ නිලධාරීන් පෙන්වා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරකු වන ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වත ඩඩ්ලි සිරිසේනට ද බැණ වැදී ඇති බව පොලිස් සැරයන්වරයා කළ පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව පොලිසිය කියයි.

42.31%
17.27%
32.76%