May 7, 2024

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන් වීමට සැක කෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැති ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඊයේ (06) නියම කළේය.

සැකකරු මෝසමක් මඟින් සිය නීතිඥයන් හරහා අධිකරණයට භාර වීමෙන් අනතුරුව එසේ ඇප නියම විය.

සැකකරු එසේ මෝසමක් මඟින් විවෘත අධිකරණයට භාර වීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසන්ව සිටි බවයි. එමෙන්ම රජයේ නිලධාරීන් කාලය ශ්‍රමය කැප කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් ජනමධ්‍ය මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත් වීමට හැකිව තිබූ බවත් පැවසීය.

එහිදී සැකකරුවන්ගෙන් අධිකරණය ඉල්ලා සිටි හැඳුනුම්පත් ලබාදීමට අපොහොසත්වීම නිසා අධිකරණයේ දෝෂදර්ශනයට ලක්කරමින් නඩුව පසුවට තැබීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

සවස යළි එම නඩුව කැඳවීමේදී ද හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් විය.

සිඟිති හා බිරිය ඇප තැබීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත බන්ධනාගාරගත කරන ලදි.

ඒ අනුව පොලිසිය කියා සිටියේ විමර්ශන කටයුතු තවමත් සිදු කරගෙන යන බවයි. දුරකථන විශ්ලේෂණ වාර්තා තව ලැබෙමින් පවතින අතර නිශ්චිත සැකකරුවන් මේ වන විටත් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පවසමින් ඉදිරිපත් වූවන් අදාළ සිද්ධියට යම් සම්බන්ධයක් ඇත්නම් පොලිසියට ප්‍රකාශයක් ලබාදිය හැකි බව ද පැවසීය.(දිනමිණ)

42.31%
17.27%
32.76%