December 23, 2023

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් නුවරඑළියේ නවාතැන්පොළක් මාසික කුලී පදනම මත මිල දී ගෙන තවත් කිහිපදෙනකු සමඟ රැඳී සිටින බවට නුවරඑළිය පොලිසියට ලද තොරතුරකට අනුව මාගස්තොට විජිතපුර පිහිටි එම නවාතැන්පොළ වටළන විට ඇය ඇතුළු එහි රැඳී සිටි පිරිස පළාගොස් ඇත.

මේ නවාතැන්පොළ පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී රුපියල් ලක්ෂ 32කට අධික මුදලක්, ඇමෙරිකානු ඩොලර් 05ක නෝට්ටුවක්, විවිධ ප්‍රමාණයේ මැණික් ගල් 91ක්, රන් භාණ්ඩ රැසක්, ජංගම දුරකතන 05ක්, බැංකු පොත් 06ක් පොලිසියට හමු වී ඇත.

මේ නවාතැන්පොළ ඉදිරිපිට BMW වර්ගයේ මෝටර් රථයක්ද නතර කර තිබී ඇත. එම රථයද ඔවුන්ට අයත් එකක් බව අනාවරණය වීම හේතුවෙන් එයද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය මේ වැටළීම කර ඇත්තේ පෙරේදාය. විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මැය මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි රැඳී සිටි ඔහුගේ අනියම් බිරියයැයි කියන තැනැත්තිය බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ පැවැති කැරැල්ලකදී ඝාතනය වූ කළුතුෂාර නමැති පාතාලයේ ප්‍රබලයාගේ බිරිය වන ඇය මේ නවාතැන්පොළ කුලී පදනම මත ගෙන ඇත්තේ මාස කිහිපයකට පෙර බවද අනාවරණය වී ඇත. මාසිකව රුපියල් ලක්ෂ තුනහමාරක පමණ මුදලක් ගෙවා නවාතැන්පොළ ගෙන ඇතත් එහි මාසයකට වරකට දෙවරකට වඩා ඇය නවාතැන් ගෙන නොසිටින බවද අනාවරණය වී තිබේ.

මාකදුරේ මධුෂ් ඩුබායි පොලිසියට හසුවන්නේ මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ උපන්දින සාදය පවත්වමින් සිටියදීය.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ රඳවා සිටි මධුෂ් 2019 වසරේ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනකු විසින් රැගෙන ඒමෙන් අනතුරුව ඇයද ඩුබායි සිට දියණිය සමඟ මෙරටට පැමිණ තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මධුෂ්ගේ දුකසැප පවා සොයාබැලූ ඇය මධුෂ්ගේ මරණයෙන් පසු අතුරුදන් වූවාය.

2019 වසරින් පසු ඇය ගැන තොරතුරක් ලැබෙන්නේ නුවරඑළියේ මේ නවාතැන්පොළේ ඇය සිටින බවටය.

පොලිසිය එම ස්ථානය වටළන විට ඇය සමග එහි සිට පලාගොස් ඇත්තේ කතුන් දෙදෙනකු සහ පිරිමි දෙදෙනකු බවටද තොරතුරු පොලිසියට ලැබී තිබේ.

එම කතුන් දෙදෙනා සහෝදරියන් බවටත්, පිරිමින් දෙදෙනා ඔවුන්ගේ අනියම් පුරුෂයන් බවටත් තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

නවාතැන්පොළේ තිබී හමු වූ ජංගම දුරකතනවල සිම්පත් ගෙන ඇත්තේ නවාතැන්පොළේ සේවකයකුගේ නමින් බවද අනාවරණය වී තිබේ.

එබැවින් ඒ සේවකයාත් නවාතැන්පොළේ හිමිකරුත් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ නවාතැන්පොළ මධුෂ්ගේ අනියම් බිරිය විසින් කුලියට ගෙන ඇතැයි පැවසෙන්නේ ව්‍යාපාරික කතක ලෙස පෙනී සිටිමින් බවද සඳහන්ය. අත්අඩංගුවට ගත් දෙදෙනා ඊයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතව ඇත.

මාකඳුරේ මදුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී, පොලිස් වෙඩි පහරින් මියගිය අතර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් අදටද නිසි පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැත.

(මුලාශ්‍රය – දිනමිණ)

42.31%
17.27%
32.76%