January 1, 2024

බැතිමතා සහ දෙවියන් අතර අතරමැදියා ලෙසින් සැළලකෙන කපුවන් අතරින් මෙරට ජ්‍යෙෂ්ඨතම කපුවාගේ ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම දෙවිවරුන්ට කරන වටිනා පූජාවලින් ප්‍රයෝජන ගතයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විවාදය අලුත් කර තිබේ.

රුපියල් ලක්ෂ 64කට අධික වටිනාකමකින් යුත් රන් බන්දේසියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන “කපුවා” සොමිපාල රත්නායක බදාදා අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් ලක්ෂ පනහක ඇප මත ඔහු මුදාහැර ඇත.

නඩුව අවසන් වනතුරු සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කෙරිණි.

“මීට වසර දෙකකට පෙර මුරුගන් දෙවියන්ට තිළිණ කළ රන් ආභරණයක් ඔහුගේ මුරකාවල් යටතේ දේවාලයෙන් අතුරුදන් වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගැනුණා” යැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

වසර ගණනාවකට පෙර බැතිමතකු විසින් දෙවියන්ට තෑගි කළ රන් බන්දේසිය නැතිවීම සම්බන්ධයෙන් සිය දිවියේ 80 ගණන්වල මැද භාගයේ පසුවන රත්නායකට “සාපරාධී විශ්වාසය කඩ කිරීමේ” චෝදනාවක් එල්ල වූ බව ඔහු පැවසීය.

මෙම ආභරණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක විසින් දෙවියන්ට පූජාකර ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැඩිව ක්‍රියාවට නංවා ඇති “ඔබේ ගනුදෙනුකරු දැනගන්න( KYC)” රෙගුලාසිවලට යටත් නොවන මෙරට දේවාලවලට, සැක සහිත ඉපැයීම් මගින් මිල දී ගත් එවැනි මිල අධික තෑගි භාර ගැනීම වරදක් නොවේ.

කතරගම අර්බුදය ගැන දන්නා විමර්ශකයකු පැවසුවේ අතුරුදන් වූ බව කියන රන් බන්දේසියේ හිමිකාරිත්වය කාගේදැයි තහවුරු කිරීම දුෂ්කර බැවින් ඒ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ නඩුවක් පවත්වා ගැනීම දුෂ්කර බවයි.

“දෙවියන්ගේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අපි යමෙකුට චෝදනා කළහොත් දෙවිවරුන් වෙනුවෙන් කතා කරන්නේ කවුද?” පරීක්ෂකවරයා ඇසීය.

දෙවිවරුන්ට පිරිනමන දේවල අයිතිය පිළිබඳ ඕනෑම අධිකරණ අර්ථකථනයක් විශ්වාසය යන කාරණය සම්බන්ධයෙන් බරපතළ බලපෑමක් ඇති කළ හැකිය.

කපුවා අත්අඩංගුවට ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ඇති වූ මතභේදය ද විශ්වාසය යන ක්‍රියාපිළිවෙත පරීක්ෂා කරනු ඇත.

2021 වසරේ රන් බන්දේසිය අස්ථානගත වීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ ප්‍රධාන ගිහි භාරකරු වන බස්නායක නිලමේවරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.

කෙසේවෙතත්, සහෝදර කපුවකු වන ලාල් අරපක්ෂ කියාසිටියේ සියවස් ගණනාවක් පැරණි සිද්ධස්ථානයේ පවත්වාගෙන යන සම්ප්‍රදායට අනුව දෙවියන්ට කරන ඕනෑම පූජාවක් කපුවාට අයත් බවයි.

“පූජාවක් චාරිත්‍රයක් පවත්වන කපුවාට ඕනෑම පූජාවක් ගැනීමට අයිතියක් තිබෙනවා, එය සොරකම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි,” යනුවෙන් අරපක්ෂ පැවසීය.

“සමහර විට ඇණ නිෂ්පාදකයෙක් මුරුගන් දෙවියන්ට තම නිෂ්පාදන පිරිනමනවා. ඔහු ඇණවලින් මොනවා කරනන්ද ? ඒ නිසා අපි එය කොන්ත්‍රාත්කරුවකුට දෙනවා, නැත්නම් එය මුදල් බවට පත්කරනවා. ඒ දේවාලයේ නඩත්තුව වෙනුවෙන්. දැනට ඉන්න කපුවන් 10 දෙනාට එක් අයකුට ආධාරකරුවන් 20ක් 30ක් පමණ සිටින නිසා ඔවුන් බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරුවලින් නඩත්තු කරන්නේ.” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් බෞද්ධ නමුත් දේශීය භාවිතය යටතේ හින්දු සහ වෙනත් දේව නමස්කාරයේ අංග මෙරට සංස්කෘතියට ඇතුළත් වේ.

බෞද්ධ පූජකවරුන් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටීම සාමාන්‍ය දෙයකි.

මීට මාස දෙකකට පෙර, වැටුප් ආරවුලක් මත සීනිගම දේවාලයේ කපුවන් පිරිසක් සංකේත වැඩ වර්ජනයක් කළ අතර වන්දනාකරුවන්ට ඔවුන්ගේ පූජා විධි සඳහා උපකාර කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

කතරගම පූජාවන් පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ.

පූජා පවත්වන කපුවෝ 10 දෙනෙක් සිටිති.

චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා සෑම කෙනෙකුටම වසරකට මාසයක් ලැබේ.

ගිහි භාරකරු වන බස්නායක නිලමේ වෙනුවෙන් වසරේ මාස දෙකක් වෙන් කෙරේ.

මෙම කාලසීමාව සඳහා ඔහුට කැමති ඕනෑම අයකු සේවයේ යෙදවිය හැකි අතර සියලු පූජා නිලමේවරයා සතු වේ.

මුරුගන් දෙවියන්ට පූජා කරන සියලුම මුදල්, ස්වර්ණාභරණ සහ වෙනත් වටිනා දේ පූජාව පවත්වන කපුවාගේ දේපළ බවට පත් වේ.

සෑම කපුවකුම තම පූජා මාසය තුළ දේවාලය නඩත්තු කිරීමේ වගකීම දරයි.

ඔහු සේවයේ යෙදවිය හැකි 40ක් දක්වා වන උදව්කරුවන්ට ගෙවිය යුතුය.

දේවාලයේ කැට වශයෙන් එකතු වන මුදල් බස්නායක නිලමේවරයාගේ පාලනයට යටත් වේ.

කපුවන්, බස්නායක නිලමේවරයා බදු අරමුණු සඳහා ආදායම ප්‍රකාශ කළ යුතුද යන්න සහ විශ්වාසවන්ත බැතිමතුන් විසින් කරන ලද පූජාවන් පිළිබඳ වාර්තා තිබේද යන්න පැහැදිලි නැත.

42.31%
17.27%
32.76%