November 28, 2023

”සුභ උපන්දිනයක් වේවා ප්‍රභාකරන් අයියා – සභාපති” යනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (26) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සන්තකයේ මෙම උපන්දින කේක් ගෙඩියට අමතරව පොපිමල්, පොල් තෙල්, ඉටිපහන් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද තිබී පොලිස් භාරයට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීපයට’ පවසා තිබේ.

නැගෙනහිර පළාත මුදාගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂක හමුදා සමඟ සටන් වැදී මියගිය එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් භූමිදානය කර ඇති මා වාඩි මුම්මාරි සුසාන භූමිය අසල මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මහවිරු දිනය වෙනුවෙන් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා සුසාන භූමියට ගොස් කේක් කපා සුබපැතීමට ගිය බව මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කර ඇත.

ප්‍රභාකරන්ගේ උපන්දින සැමරීමේ උත්සවයට තවත් අයද මෙම සුසාන භූමියට පැමිණීමට නියමිතව සිටි ඇති බවත්, මෙම කාන්තාව එම උපන්දින කේක් ගෙඩිය ඇතුළු ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම නිසා එය වැළකී ගොස් ඇති බවත්, පැවසේ.

එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළේ යැයි කියමින් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව වාලච්චේන ප්‍රදේශයේම පදිංචිකාරියකි.

42.31%
17.27%
32.76%