July 4, 2024

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ කටයුතු සඳහා සුදුසු ආයතනයක් මෙතෙක් ලැබී නොමැති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම කිසිසේත්ම විකිණීමට කටයුතු නොකරන අතර සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවයි.

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

“ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.” යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අප්‍රේල් මාසයේදී AirAsia Consulting, Dharshaan Elite Investment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited, Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited සහ Hayleys PLC වෙතින් සුදුසුකම් සඳහා ඉල්ලීම් ලැබී තිබිණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය බරත් සමඟ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අමෙරිකානු ඩොලර් මිලියන 310ක දේශීය ණය රජයට පැවරීමට ද රජය තීරණය කළේය.

එසේම ජාතික ගුවන් සේවය ආරක්ෂා කිරීම සඳහා, 2024 පළමු මාස ​​හතර තුළ එහි පවතින මුදල් ප්‍රවාහ ගැටලුවලට සහාය වීම සඳහා රුපියල් බිලියන 5ක කොටස් දායකත්වයක් නිකුත් කිරීමෙන් රජය සහාය ලබා දුන්නේය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 333.6ක ආදායමක් වාර්තා කර ඇති අතර එය 2022/23 දී ලැබූ රුපියල් බිලියන 365.2ක ආදායමට සාපේක්ෂව සියයට 8.6ක අඩුවීමකි.

කෙසේවෙතත් 2022/23 දී වාර්තා වූ රුපියල් බිලියන 73.3ක පාඩුවට සාපේක්ෂව 2023/24 දී බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 7.3ක ලාභයක් වාර්තා කළේය.

ඒ ප්‍රධාන වශයෙන්ම 2022/23 දී රුපියල් බිලියන 25.6ක විනිමය පාඩුව 2023/24 දී රුපියල් බිලියන 0.5ක විනිමය ලාභයක් බවට පරිවර්තනය කිරීම හේතුවෙනි.

42.31%
17.27%
32.76%