July 17, 2024

භාණ්ඩ හා සේවා ප්‍රවාහනය සඳහා මෙරට අභ්‍යන්තර ජල මාර්ග යොදා ගැනීම සහ ඒවා නියාමනය කිරීම සඳහා නියෝජිතායතනයක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ “ශ්‍රී ලංකාව දුපතක් බැවින් කොළඹ නගරය අවට උදෑසන කාර්යාල ආරම්භ වන කාලසීමාව තුළ රථවාහන තදබදය අවම කිරීම සඳහා පිළියමක් ලෙස ජල මාර්ගවලින් ප්‍රවාහනය දිරිමත් කළ හැකිය” යනුවෙනි.

ජල මාර්ග ඔස්සේ ප්‍රවාහනය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡා පැවතියද ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පෙන්වා දී තිබේ.

නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව යටත්විජිත යුගයට පෙර මෙරට පැවති දියුණු ජල ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බවට ද සාකච්ඡා කර ඇත.

අභ්‍යන්තර ජල මාර්ග හරහා භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීම වැදගත් බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කමිටුව නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මාසයක් ඇතුළත එකී ප්‍රගතිය පිළිබඳ නිලධාරීන් කමිටුවට දැනුම් දීමට නියමිත බව ද වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%