March 26, 2024

McDonald’sහි දේශීය බලයලත් සමාගම වන Rusi Pestonjee වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.

McDonald’sහි දේශීය හිමිකරු වන International Restaurant Systems Ltdහි 98% කොටස් Pestonjee සතු වේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා විසින් පසුගිය සතියේ වාරණ නියෝගයක් නිකුත් කළේ Pestonjee සමාගමට මැක්ඩොනල්ඩ්ස් යන නාමය කිසිදු අයුරකින් භාවිත කිරීම මෙන්ම එහි අලෙවිසැල් 11ක ආහාර මෙනුව අප්‍රේල් 4 වැනිදා දක්වා අලෙවි කිරීම වළක්වමිනි.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ එක්සත් ජනපදයේ McDonald’s Corporation විසින් ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් ලෙස අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

McDonald’s යන නම හෝ එම නමට ඕනෑම ආකාරයකින් සමාන හෝ වෙනත් නමක් භාවිත කිරීමට සහ ඕනෑම ස්ථානයක ඇති එම අවන්හල් McDonald’s හා සම්බන්ධ බවට මහජනතාවට දැනගත හැකි ඕනෑම නමක් භාවිත කිරීමට විත්තිකරුට ඇති අයිතිය අහෝසි කර ඇති බව පැමිණිලිකරු සඳහන් කළේය.

විත්තිකරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් 1997 අගෝස්තු මස ඇතිකරගත් සංවර්ධන ගිවිසුමේ පදනම අහෝසි වී ඇති බව පැමිණිලිකරු ප්‍රකාශ කර තිබිණි.

පැමිණිලිකරු වැඩිදුරටත් කියා සිටියේ විත්තිකරු බලයලත් හිමිකරුවකු වීමට සහ McDonald’s නමින් අවන්හලක් පවත්වාගෙන යෑමට පැමිණිලිකරු කැමති නැති බවයි.

සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

කෙසේවෙතත් බලයලත් ආයතනයේ ප්‍රකාශකයකු පැවසුවේ McDonald’sහි ක්‍රියාව කොටස් විකිණීම සම්බන්ධයෙන් වන අතර පුළුල් ලෙස වාර්තා වූ පරිදි සනීපාරක්ෂක ගැටලු නිසා නොවන බවයි.

“ගිවිසුම අනුව Pestonjee විසින් දේශීය බලයලත් ආයතනයේ හිමිකාරිත්වය 50% දක්වා පමණක් විකිණීමට අවශ්‍ය වුණත් McDonald’s කොටස් 100% ඉල්ලා සිටියා. එම නිසා අපි වාරණ නියෝගයට තරග කරනවා,”යනුවෙන් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.