42.31%
17.27%
32.76%
November 7, 2023

සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ නැවීමට ආසන්න සමයේ දී සීනි ආයනයේ අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය නොවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ කෙසේවෙතත්, මෙම බදු වැඩිකිරීම හේතුවෙන් ආනයනකරුවන් විසින් අසාමාන්‍ය ලාභයක් උපයා ඇත්ද යන්න සොයාබැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විගණනයක් ආරම්භ කර ඇති බවයි.

විපක්ෂ නායකවරයා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

එම පිළිතුරට අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 546,488ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

රේගු වාර්තාවලට අනුව වසරේ මුල් මාස පහට සාපේක්ෂව සෙසු මාසවල සීනි ආයනයනේ අඩුවක් දක්නට ලැබේ.

බද්ද පනවන දිනය වන විට සීනි මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ආනයනය කර තිබූ අතර එය හිගයකින් තොරව සීනි ලබාදීම සඳහා ප්‍රමාණවත් වේ.

බදු ඉහළ දැමීම මගින් එවකට පැවැති සීනි තොගවල මිල ඉහළ දැමීම වැලැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් උපරිම සිල්ලර මිලක් නියම කළ අතර එය මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.

කිසියම් සමාගමක් සීනි ආනයනයෙන් අතිරේක ලාභයක් ලබා ඇත්ද සොයාබැලීම සහ එසේ ලාභයක් ලබා ගෙන එය ආදායම් බදු ගණනයේ දී සැලකිල්ලට ගෙන නොමැති නම් අතිරේක බදු අයකිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විගණනයක් ආරම්භ කර ඇතැයි ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

අදාළ විගණනයෙන් පසු සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවහෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මධ්‍යසාර නිෂ්පාදන සමාගම් පහක් විසින් රුපියල් මිලියන 2,715ක් හිග බදු ලෙස රජයට ගෙවීමට ඇති බවත් ගෙවීම් ප්‍රමාදය නිසා මාසිකව අයකරන 3%ක දඩ මුදලත් සමග එය රුපියල් මිලියන 6,721ක මුදලක් බවත් ඇමැතිවරයාඅනාවරණය කළේය.

නියමිත දිනට බදු මුදල් නොගවීම හේතුවෙන් අදාළ සමාගම් පහෙන් හතරක බලපත්‍ර දීර්ඝ කර නොමැති අතර එක් සමාගමක් පමණක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ඇති බැවින් එහි ඊළග නඩු දිනය යෙදෙන නොවැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ බලපත්‍රය දීර්ඝ කර ඇත.

අදාළ සමාගම් වෙත බදු මුදල් ගෙවා දැමීම සඳහා ගෙවීම් සැලසුමක් ලබා දී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා, කියා සිටිියේ හිග බදු ගෙවීම සඳහා දෙසැම්බර් මස 29 දා දක්වා කල් ලබාදී ඇති බවයි.

42.31%
17.27%
32.76%