November 8, 2023

ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් ලංකා IOC(Lanka IOC (LIOC)) අවධානය යොමු කර ඇත.

ඒ අනුව, ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “අන්තර්ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා ලොව පුරා සිටින පිළිගත් සැපයුම්කරුවන්ගෙන් ඉහළම තත්ත්වයේ ඉන්ධන” ලබාගන්නා බවයි.

අන්තර්ජාතික ඉන්ධන සැපයුම්කරුවකුගෙන් ලබාගත් එවැනි පෙට්‍රල් තොගයක් පසුගියදා කොළඹ වරායට පැමිණි බවත්, ආනයනය කරන ලද එම පෙට්‍රල් තොගය දැනටමත් ප්‍රමිති අවශ්‍යතා සපුරා ඇති බවත්, අනතුරුව එම තොගය මුදාහැර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, LIOC නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ගැසොලින් තොගයක් තවමත් සාමාන්‍ය තත්ත්ව පරීක්ෂාවකට භාජනය වෙමින් පවතින අතර, එය බැහැර කිරීම සඳහා තවමත් නිෂ්කාශනය කර නොමැති බවයි.

මෙම තොගය සියලුම ව්‍යවස්ථාපිත තත්ත්ව පිරිවිතරයන් සපුරාලන තෙක්, සැපයුම්කරුගේ අයිතිය යටතේ පවතිනු ඇත.

LIOC විසින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට ලබාදෙන සියලුම නිෂ්පාදනවල ඉහළම ප්‍රමිතීන් සහතික කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.