July 7, 2023

පළාත් පාලන මැතිවරණය නොපවත්වා පනතක් සම්මත කර ගනිමින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට නීත්‍යානුකූලව හැකියාව තිබුණද, එය සදාචාරාත්මක නොවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මැතිවරණයකින් තොරව පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට පළාත් පාලන ඇමැතිවරයාට බලය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ පනතක් සම්මත කිරීම හරහා පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට නීතිමය හැකියාවක් පවතින නමුත් එය සදාචාරාත්මක නොවන බවයි.
“මේ පනත එච්චර දුර යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ජනතාව පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වසර හතරක් පමණක් බලය දී තිබියදී මේ ආකාරයට ඔවුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සදාචාරාත්මක නැහැ. සමහර හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන් පවා එය පිළිගනු ඇතැයි අපි සිතන්නේ නැහැ”

2023 පළාත් පාලන මැතිවරණයට කැඳවා තිබූ නාමයෝජනා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කර අවලංගු කිරීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වූ අවස්ථාවේදී, එවකට මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා කියා සිටියේ එවැනි අවලංගු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඊයේ ඉදිරිපත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු, පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැමීමට සහ හිටපු පළාත් පාලන ආයතනවල තේරී පත්වූ මන්ත්‍රීවරුන් යළි කැඳවීමට ආණ්ඩුව දරන උත්සාහයට විරෝධය පළ කර විවේචනය කළහ.

(The Morning)