December 3, 2024

අඛණ්ඩව සුරාබදු ගෙවීම පැහැර හරින සමාගම්වල බලපත්‍ර 2025 වසර සඳහා අත්හිටුවා නිෂ්පාදන කටයුතු ද අත්හිටුවීමට සුරාබදු ආඥාපනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ වසරේ නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාදී ඇති මධ්‍යසාර නිෂ්පාදන සමාගම් 23න් 3ක් හැර අනෙක් සියල්ල නොවැම්බර් 30 වැනිදා වන විට නියමිත කාලසීමාවට පෙර බදු ගෙවා අවසන් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණ කළේය.

ඒ අනුව බදු නොගෙවූ සීමාසහිත මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් ප්‍රයිවට් ලිමිටඩ්, සහ මීගොඩ මැකලම් බෲවරි ලිමිටඩ් යන ආයතනවලට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නීතිමය ක්‍රියාමාර්ගවල තීන්දු අනුව මෙම සමාගම්වලට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මීට අමතරව, ලුණුවිල ග්ලෝබ් බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීට්ස් ලිමිටඩ් (තොග බලපත්‍රයක් හිමි), සහ පයාගල සමුපකාර මත්පැන් නිෂ්පාදන ආයතනය ඇතුළු ක්‍රියාකාරී නොවන ආයතනවල අයිතිය තහවුරු කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර, එම සමාගම්වලින් හිඟ බදු අයකර ගැනීමට ද කටයුතු කරනු ඇත.

හිඟ සුරාබදු පියවන තෙක් උතුරු පළාතේ වන්කානායිහි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු ද සුරාබදු දෙපාර්තමේන්තුව අත්හිටුවා ඇත.

42.31%
17.27%
32.76%