October 15, 2023

නායකත්වය අමතර පීඩනයක් කර නොගෙන සුපුරුදු පිතිකරණ රටාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසයි.

ඕස්ට්‍රේලියාව සමග සඳුදා පැවැත්වෙන තරගයට පෙර ජනමාධ්‍ය අමතමින් ඔහු පැවැසුවේ, තමන් මීට පෙරද නායකයා ලෙස කටයුතු කර ඇති බැවින් විශේෂයෙන් වෙනස් කළයුතු යමක් නොමැති බවයි.

තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන දසුන් ශානක කණ්ඩායමට අහිමිවීම බරපතල පාඩුවක් බව සඳහන් කළ මෙන්ඩිස්, ඒ වෙනුවට කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයා සිය වගකීම මැනවින් ඉටුකළ යුතු බව අවධාරණය කළේය.

“මම හිතනවා දසුන් වෙනුවට ටීම් එක ඇතුළට එන කෙනා දසුන්ගේ රෝල් එක හරියට කරයි කියලා. ඒක තමයි වෙන්න ඕන. මම බලාපොරොත්තු වෙනවා එන එක්කෙනාට මගේ පැත්තෙන් දෙන්න පුළුවන්, එයාගේ රෝල් එක මොකද්ද ඒක පැහැදිලි කරලා, එයාගෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගන්න. මම විශ්වාස කරනවා දසුන් ආයේ කණ්ඩායමට එයි කියලා. ආවොත් ඒක අපිට ලොකු හයියක්”

සඳුදා තරගය පිළිබඳ අදහස් දක්වමින් නායක කුසල් මෙන්ඩිස් පැවැසුවේ කණ්ඩායම් දෙකම පළමු තරග දෙක පරාජය වී සිටියද ශ්‍රී ලංකා කණ්ඩායම සාපේක්ෂව පිතිකරණ අංශයෙන් ඉහළින් සිටින බවයි.

“මට ටීම් එකත් එක්ක බලද්දි කිසි ප්‍රෙෂර් එකක් නැහැ අපිට කරන්න බෑ කියන එක ගැන. මොකද අපි ඒ ගොල්ලන්ට වඩා ස්ටෙප් එකක් හරි උඩින් ඉන්නවා කියන එක මුලු ටීම් එකම දන්නවා. ඒ විශ්වාසය තියෙනවා”

තරගයට ක්‍රීඩාකරන අවසන් 11දෙනා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි සඳහන් කළ කුසල්ගෙන්, අමතර දඟ පන්දු යවන්නෙක් හෙට කණ්ඩායමට එක්කර ගැනීමට අදහස් කරන්නේ දැයි ජනමාධ්‍යවේදීහු විමසීමක් කළහ.

එහිදී ඔහු පැවසුවේ මහීෂ්, දුනිත් සහ ධනංජය නිත්‍ය දඟ පන්දු යවන්නන් ලෙසත්, අවශ්‍ය නම් අසලංකට ද පන්දු වාර කිහිපයක් ක්‍රියාත්මක කළ හැකි බැවින් එවැනි අවශ්‍යතාවක් පැනනඟිනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි.