51.99%
17.7%
23.19%
August 27, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීතිඥ වෘත්තිය අත්හිටුවා සිටින නීතිඥවරියකට අවසරයකින් තොරව මෙරටින් පිටවීම තහනම් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නීතිඥවරියට එරෙහිව නියෝග කළේ මෙම විත්තිකාරිය ගොනුකර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවය.

මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන පිරිසගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සළකා බැලිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විත්තිකාරිය නීතිඥ වෘත්තියේ කටයුතු කිරීම අත්හිටුවා සිටියදී සේවාදායකයන්ට උපදෙස් දී මුදල් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලබූ අවස්ථාවේදී මේ සිද්ධිය සම්බන්ධ චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් විසින් විවෘත අධිකරණය හමුවේ කියවා පැහැදිලි කරන ලදී.

ඒ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ඇය කියාසිටියාය.

ඒ අවස්ථාවේ අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා කියාසිටියේ තමන් කර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් එය නව අධිකරණ අපහාස පනතේ විධිවිධාන අනුව තමන් රිමාන්ඩ් භාරයට පත්කළ යුතු වරදක් බවත් ය.

විත්තිකාරිය අධිකරණය අමතමින් කියාසිටියේ තමන්ට නොතාරිස් ධුරයේ කටයුතු කළ හැකි බැවින් තමන් ඒ සඳහා මුදල් ලබාගත් බවත් මෙය අසත්‍ය පැමිණිල්ලක් බවත්ය.

කැකිරාවේ නීතිඥ සංගමයේ නිලධාරියෙක් තමන් සමග අමනාපව සිටින නිසා මෙය පළිගැනීමක් බවත් විත්තිකාරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඇය තවදුරටත් කියා සිටියේ තමන් පිළිකා රෝගයෙන් පෙළෙන බවත් තමන් මේ වරද සිදුකර නොමැති බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා කියාසිටියේ තමන් සිටින සානුකම්පිතව තත්ත්වය සළකා බලා අවසරයකින් තොරව තමාට රටින් පිටවීම තහනම් කරන බවත්ය.

නඩු ගොනුවක තිබූ ලිපියක් කටින් ඉරා, විනාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකාර ආර්. ආරියරත්න නීතිඥවරියක් වශයෙන් කටයුතු කිරීම අධිකරණයෙන් අත්හිටුවා තිබිණි.

විත්තිකාරියගේ නීතිඥභාවය අත්හිටුවා තිබියදී පසුගිය මාර්තු 25 වෙනි දින තම කාර්යාලයේදී උපදෙස් ලබාදීම සඳහා මුදල් ලබාගැනීම සම්බන්ධ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නීතිඥ සංගමය ගොනුකොට ඇත.

51.99%
17.7%
23.19%