September 12, 2024

ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩුවක් පිහිටු වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසමින් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවූ හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාරිය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ඊයේ (11) ගොනුකළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වූ බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය, එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් තීව්‍ර වූ බවද සඳහන් කරන්නීය.

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රසිද්ධ රූපවාහිනී ආයතනයක් නම්කර ඇත.

නීතිඥ ශානිකා සිල්වා මගින් සිය පෙත්සම ගොනුකරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, වගඋත්තරකාර තිස්ස අත්තනායක මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගෝස්තු 18 වැනිදා පැවැති සමගි ජන බලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් අමතමින්, ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩුවක් පිහිටවූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයි ද, එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයි ද සඳහන් කරන්නීය.

තිස්ස අත්තනායක කළ එම ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශය කළේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර පවත්වන සමයේදී බවත්, එම ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශය එක්තරා ප්‍රසිද්ධ රුපවාහිනී සමාගමක් සිය ප්‍රමුඛ පුවත ලෙස මෙන්ම පසුදින එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මගින් යළි ප්‍රමුඛතාවක් දී ප්‍රචාරයක් කළ බවත් සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය පසුව සමාජ මාධ්‍ය හරහාද එම ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය කළ බව ද සඳහන් කරන්නීය.

ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය කිරීම හේතුවෙන් රටේ සමස්ත බෞද්ධ පොදු ජනතාව ඉදිරියේ තමන් අවමානයට, අපවාදයට, ලජ්ජාවට හා පිළිකුලට ලක් වූ බවත් සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය, තිස්ස අත්තනායක කළ එම ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශය කිරීමෙන් හා අදාළ රූපවාහිනී සමාගම විසින් එය ප්‍රචාරය කරනු ලැබීමෙන් සිය අභිමානයට හා කීර්තියට හානි වූ බව ද සඳහන් කරන්නීය.

එම ද්වේශ සහගත අසත්‍යය ප්‍රකාශය කිරීමෙන් හා එය ප්‍රචාරය කිරීමෙන් තමන්ට වූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ආචාර්ය හරිනි අමරසූරිය ඉල්ලා සිටින්නීය.