February 15, 2025

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් නිදහස් කිරීමට ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණය ආපසු හැරවීමට පියවර ගත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති අනුර මැද්දේගොඩ දැඩි විවේචනයට ලක්ව තිබේ.

නීතිපති පාරින්ද රණසිංහ වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් අනුර මැද්දේගොඩට ‘කුහක සහ දෙබිඩි පිළිවෙතක්’ අනුගමනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඒ, මැද්දේගොඩගේ සේවාදායකයකු සම්බන්ධ තවත් මිනීමැරුම් නඩුවකදී පසුගිය වසරේ එම නීතිපතිවරයාගේ මෙවැනිම ක්‍රියාවක් සිදුකර ඇති අවස්ථාවේදී මැද්දේගොඩ ඊට විරෝධය පළකිරීම සහ එවැනිම තත්ත්වයක් උදා වූ ලසන්ත වික්‍රමතුංග නඩුවේදී නීතිපතිවරයා වෙත විරෝධය නොදැක්වීම පාදක කරගනිමින් ය.

2025 ජනවාරි 27 දිනැති ලිපියකින් නීතිපති පාරින්ද රණසිංහ විසින් ලසන්ත වික්‍රමතුංග නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස උපදෙස් ලබාදීම මහජන විරෝධයට හේතුවිය.

ඒ සම්බන්ධයෙන් පැනනැගුණු විරෝධතා රැල්ලකින් අනතුරුව පෙබරවාරි 11 වන දින එම සැකකරුවන් නිදහස් කිරීමට ගත් තීරණය වෙනස් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව තවත් නියෝගයක් නිකුත් කර තිබිණි.

නීතිපතිවරයාගේ ක්‍රියාව විදේශයන්හි ද අවධානයට ලක්ව ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවකට ඇතුළත් කිරීම සඳහා මානව හිමිකම් සංවිධාන මෙම නඩුව විමර්ශනය කරන බව ද පැවසේ.

නීතිපති පාරින්ද රණසිංහගේ හැසිරීම යුක්තියට බාධාකිරීමේ තවත් උදාහරණයක් ලෙස සලකනු ලබන අතර සැබවින්ම ස්වාධීන මහජන අභිචෝදකයෙකුගේ අවශ්‍යතාවයක් පවතින බව මානව හිමිකම් සංවිධානයක් පවසා තිබේ.

මේ අතර ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති අනුර මැද්දේගොඩ වෙත පිටු 04 කින් සමන්විත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ පසුගිය වසරේ මැද්දේගොඩගේ සේවාදායකයෙකුගේ නඩුවකදී මෙවැනිම තත්ත්වයක් උදාවූ විට නීතිපතිවරයාගේ තීරණයට විරෝධය පෑව ද සිය පියා ද සාමාජිකත්වය දැරූ නීතීඥ සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන පසුබිමක් තුල සිය පියාගේ ඝාතනයට අදාළ නඩුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මැද්දේගොඩ ක්‍රියාකල ආකාරය කුහක සහ දෙබිඩි ක්‍රියාවක් බවයි.

“නීතිපතිවරයා ඔබේ සේවාදායකයෙකුගේ මිනීමැරුම් පරීක්ෂණයක් කඩාකප්පල් කළ විට, ඔබ එය ‘යුක්තියට බාධාවක්’ ලෙස නම්කර, විධායක සමාලෝචනයක් ඉල්ලා සිටියා, ඔබ එය ලබා ගන්නා විට නීතිඥ සංගමය නිහඬව සිටියේ ඇයි?” ඇය ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීමේදී නීතීඥ සංගමයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද අහිම්සා සිය ලිපියෙන් ප්‍රශ්න කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් හෝ සභාපති අනුර මැද්දේගොඩගෙන් ක්ෂණික ප්‍රතිචාරයක් නොමැති බව වාර්තා වේ.

එමෙන්ම එළඹෙන බදාදාට නියමිතව ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී එහි සභාපතිධූරය සඳහා අනුර මැද්දේගොඩ ඉදිරිපත් නොවනු ඇති බවට ද වාර්තා පළ වේ.