September 4, 2024

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ඊයේ (03දා) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා තිබෙන බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දීමට මැතිවරණ නිලධාර්න් පියවර ගෙන ඇත.

මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.

හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස්විදෙස් සංචාරකයන්ද ආහාර ලබාගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීර්න් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැත.