October 27, 2023

ශ්‍රී ලංකාවට ආවේණික වඳවී ගොස් ඇතැයි සැළකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශයෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේ දී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදුකළ ගවේෂණයක දී මෙම ශාක විශේෂය සොයාගැනීමට සමත්ව ඇත‍.

එම සොයාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදුකරන (වයඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය) කණ්ඩායමේ සාමාජිකයකු සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන ඉන්ද්‍රකීල මාදොල දැනුවත් කොට, Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂවල ශාකාගාර නිදර්ශක, ජීවි ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කර සොයාගත් මෙම ශාක විශේෂය වඳ වී ගොස් ඇතැයි සැළකූ ශාක විශේෂයක් බවට තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

පොදුවේ මෙම ශාක විශේෂ අයත් ශාක ගණය හැඳින්වීම සඳහා කෙතල (Lagenandra) යන නාමය භාවිත කරනු ලබයි.

මෙලෙස සොයාගත් ශාක විශේෂය සිංහල භාෂාවෙන් හැඳින්වීම සඳහා සිංහල නාමයක් පවතීද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම ශාක විශේෂය සඳහා නොමැත.

Lagenandra erosa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැළකීමේ දී ශාක රාජධානියේ Alismatales පෙළපතට අයත් Araceae පවුලට අයත් Lagenandra ගණයට අයත්වේ.

ජලාශ්‍රිත පරිසර පද්ධති තුල දක්නට ලැබෙන මෙම කෙතල ශාක විශේෂ 21ක් ලෝකයේ විවිධ රටවල් තුලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 14 ක් ශ්‍රී ලංකාවෙන් හමුවේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම විශේෂ 14 න් 13 ක්ම මෙරටට ආවේණික විශේෂ වීමය.

මෙම Lagenandra erosa ශාක විශේෂය අඩ සියවසකට පෙර 70 දශකයේදී විසිතුරු ජලජ ශාකයක් ලෙස ශ්‍රී ලංකාවෙන් යුරෝපයේ මින්මැදුරු සඳහා අපනයනය කොට ඇති අතර, එසේ අපනයනය කල ජලජ ශාක අතර පැවති මෙම ශාක නිදර්ශක කිහිපයක් උපයෝගී කරගනිමින් මෙම ශාක විශේෂය පිළිබඳව ලොවට හඳුන්වා දී තිබේ.

එලෙස සොයාගත් ශාක විශේෂය නාමකරණය එකල යුරෝපයේ සිදුකර ඇතත්, එහි ස්වාභාවික ගහනය සොයාගෙන ඇති මුල් ප්‍රදේශය ආදී කිසිදු තොරතුරක් මුල් හඳුන්වාදීමේදී සඳහන් කිරීමට ඔවුන් සමත් වී නොමැත.

මෙසේ නාමකරණය පමණක් සඳහන්ව පැවති මෙම ශාක විශේෂය පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකිවීම ස්වාභාවික පරිසරයෙන් මෙම විශේෂය සොයාගත් පළමු අවස්ථාව වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත 2022 ජාතික රතු දත්ත වාර්තාවේ මෙම ශාක විශේෂයේ ජාතික සංරක්ෂණ තත්වය Critically Endangered (Possibly Extinct) (CR(PE)) දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇත) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබේ.

මෙම සොයා ගැනීමෙන් පසු මහාචාර්ය දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය කපිල යකන්දාවල (වයඹ විශ්වවිද්‍යාලය), ඉන්ද්‍රකීල මාදොල (වයඹ විශ්ව විද්‍යාලය) සහ පේශල පසන් කරුණාරත්න (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය) යන පර්යේෂක කණ්ඩායම විසින් මෙම ශාක විශේෂය පිළිබඳ දත්ත රැස්කොට පර්යේෂණ කටයුතු සිදුකර පර්යේෂණ පත්‍රිකාවක් සකස්කර ප්‍රකාශයට පත්කිරීම සඳහා යොමුකර ඇත.

එම පර්යේෂණ පත්‍රිකාව 2023.10.27 වැනි දින අන්තර් ජාතික පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරන https://phytotaxa.mapress.com/pt/article/view/phytotaxa.622.3.5 යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත්කොට තිබේ.

එය ශ්‍රී ලංකාවේ වටිනාකමට මෙන්ම ලංකාව තුළ සිදුවන ශාක පිළිබඳ පර්යේෂණ සඳහා විශාල වටිනාකමක් එක්කිරීමට හේතු වී තිබේ.