September 6, 2024

බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශකයන් සංඛ්‍යාව අඩුවීමේ ගැටලුව සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පොරබදමින් සිටින බව නවතම දත්ත මගින් පෙනීගොස් තිබේ.

එය 2030 වන විට සංචාරකයන් මිලියන පහක් සඳහා වන ඉලක්කය සපුරා ගැනීමේ දී තර්ජනයක් විය හැකි බවට මත පළවී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ රටේ සංචාරක මාර්ගෝපදේශකයන් 6,347න් අවම වශයෙන් සියයට 23ක් බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක වන බවයි.

“අද අපි අධ්‍යයනයක් දියත් කරන්නේ නිකම්ම නොවේ. අපි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගතය සඳහා වූ මෙහෙවරක් එළිදක්වන්නේ. අපගේ ඉලක්කය වන්නේ අපගේ සංචාරක මඟපෙන්වන්නන්ගේ කුසලතා පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක අත්දැකීමද ඉහළ නැංවීමයි,” යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

මෙම අධ්‍යයනයේ ප්‍රධාන සොයාගැනීම් මගින් ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ගෝපදේශක වෘත්තියේ බිඳ වැටෙමින් පවතින ස්වභාවය පිළිබඳ අවධානය යොමු කර තිබේ.

දැනට පවතින් දත්ත අනුව පෙනීගොස් ඇත්තේ දේශීය මාර්ගෝපදේශක ශ්‍රම බලකායෙන් සියයට 32ක් ජාතික මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන බවයි.

2024 දී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු කර ඇති සංචාරක මාර්ගෝපදේශකයන් 6,347න් රියදුරු මාර්ගෝපදේශකයන් (සියයට 25), අඩවි මාර්ගෝපදේශකයන් (සියයට 4) සහ ප්‍රදේශ මාර්ගෝපදේශ (සියයට 18) ඇතුළු විවිධ කාණ්ඩවලින් සමන්විත බව අනාවරණය වී තිබේ.

කාන්තා නියෝජනය ද සියයට 3ක් ලෙස අඩු මට්ටමක පවතින අතර, එම අංශයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 40ක් සංචාරක මාර්ගෝපදේශ සේවා සමඟ ගමන් කිරීමට තෝරා ගන්නා බැවින් මෙරටට අවම වශයෙන් සංචාරක මාර්ගෝපදේශකයන් 6400ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.

මේ සඳහා ප්‍රධාන නිර්දේශ දෙකක් වූයේ සංචාරක මාර්ගෝපදේශ බලපත්‍ර ක්‍රියාවලිය විධිමත් කිරීම සහ කර්මාන්තයේ බලපත්‍රයක් ලෙස අදාළ බලපත්‍රය පිළිගැනීම ඉහළ නැංවීමයි.

මෙම පියවර මගින් වෘත්තියේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම වෘත්තිය සඳහා තරුණයන්ගේ පැමිණීම ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

අවසාන නිර්දේශය වී ඇත්තේ සංචාරක මාර්ගෝපදේශ විෂයමාලා රුසියානු, ජර්මන්, ප්‍රංශ සහ චීන වැනි භාෂාවලට පෙළගස්වා බහුභාෂා හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමයි.

ඉංග්‍රීසිවලට අමතරව ප්‍රධාන වශයෙන් සංචාරක වෙළඳපොළ නියෝජනය කරන මෙම භාෂා චතුර ලෙස හැසිරවීම, රට තුළ සංචාරක මාර්ගෝපදේශකයකුගේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් බව අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.