June 12, 2024

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායකකාර ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පැවසීය.

මේ අරමුණ සාර්ථක කරගනු වස් “රැකියා පනත” නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සූදනමින් සිටිනා බවත්, නව නීතිය අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ ILO සම්මුති 189ට අනුගත බවත්, මෙම පනත බලාත්මක කිරීමත් සමඟ ILO සම්මුතීන් 155 සහ 190 ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරන බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2022 ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව 2023 දී නිවැරදි කළමනාකරණය මගින් සිය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගත් බවත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ව ආර්ථික තත්ත්වයන් ඊට හේතු වු බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සහ කාන්තාවන්ට යහපත් රැකියාවක් සහතික කිරීම සඳහා, ILO සහ IOM ආයතනයන්ගේ කොළඹ කාර්යාල සමග සහයෝගයෙන් කටයුතු කරන අතර සත්කාරක සේවිකාවන් 10,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව ද ඔහු එහිදී සඳහන් කළේය

ඇමැතිවරයා වැඩි දුරටත් මෙලෙස පැවසීය;

”ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට පසුගිය කාලයේ පත්වූ සෑම රජයක්ම උත්සහ ගත් නමුත් එය සාර්ථක වුණේ නෑ. පසුගිය මාසයේදී අපි ඔවුන්ගේ වැටුප් 70% කින් වැඩි කළා . එය පසුගිය වසර 200 තුළ ඔවුන් ලැබූ ඉහළම වැටුප් වර්ධකයයි.

ශ්‍රී ලංකා රජය, ILO සම්මුතිය 102 හි දක්වා ඇති පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ පද්ධතියක වැදගත්කම පිළිබඳ අපි විශ්වාස කරන බව පවසන්නෙමු. ඒ අනුව අන්තර්ජාතික කම්කරු සම්මෙලනයේ සහාය ඇතිව අපි පුළුල් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිමු.

තවද, අවිධිමත් අංශයේ සේවකයන්ට සමාජ සාධාරණත්වය ඉටුකිරීමේ ගමනක් මගේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. “ගරු සරු ” (Dignity of Labour) වැඩසටහනේ අරමුණ වන්නේ රට පුරා සිටින අවිධිමත් අංශයේ සේවකයන්ගේ පිළිගැනීම, ආරක්ෂාව සහ අභිමානය ඉහළ නැංවීමයි. මෙම වැඩසටහන යටතේ, අවිධිමත් අංශයේ සේවකයන් සංවිධාන කරනු ලබන අතර, රැකියා නියමයන් සහ කොන්දේසි තීරණය කිරීම සඳහා ඔවුන්ගේ වෘත්තීන් මත පදනම්ව ජාතික මට්ටමේ සභා පිහිටුවනු ඇත.

මම මෙහි පැමිණ සිටින නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම ආකාරයකින්ම මෙම වැඩසටහනට සහය දෙන ලෙසයි.” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

මෙම සමුළුව ඇමතීමෙන් පසු මනුෂ නානායකකාර ඇමැතිවරයා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ සඳහා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo වැඩිදුරටත් සහතික වී තිබේ.

42.31%
17.27%
32.76%