February 20, 2025

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ප්‍රමුඛ පෙළේ දේශීය ජනමාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත්කරන ලද අසත්‍ය ප්‍රවෘත්තියක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවයි.

‘පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක බවට පත්වූ නිලන්ති කොට්ටහච්චිට ඇයගේ දේශපාලන පක්ෂය විසින් ජනමාධ්‍යයට අදහස් නොදක්වන ලෙස දැනුම්දී ඇති’ බවට වන පුවතක් අදාළ ජනමාධ්‍ය ආයතනය එහි ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය වේදිකා දෙකෙහිම පළකර ඇති බව මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

අද පාර්ලිමේන්තුවේදී මේ කාරණය මතුකරමින්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය පැවසුවේ, එම පුවත සමාජ මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වී ඇති බවත්, එය අසත්‍යක් බවත් ය.

එවැනි පදනම් විරහිත, තහවුරු නොකළ සහ අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීමෙන් තම වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පැවසුවාය.

එබැවින්, පුළුල් පරීක්ෂණයක් සඳහා මෙම කාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමුකර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඇය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න පැවසුවේ මෙම කාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමුකරන බවයි.