August 13, 2024

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ විවාදාත්මක හැසිරීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

ඒ පසුගිය සෙනසුරාදා පැවති චිත්‍රපට උළෙලකදී වූ සිද්ධියකට අදාළවය.

ස්විට්සර්ලන්තයේ ලොකර්නෝ චිත්‍රපට උළෙලේදී කීර්තිමත් Pardo alla Carriera සම්මානය ලැබූ පළමු ඉන්දියානුවා බවට පත්වූයේ ෂාරුක් ඛාන්ය.

ෂාරුක් ඛාන්ගේ පිළිගැනීමේ කතාව සහ පෙනුම බොහෝ සෙයින් කතාබහට ලක් වූ අතර එය අභිබවා යෑමට දැන් සමත්ව ඇත්තේ කෙටි රතු පලස මතදී සිදු වූ සිද්ධියකි.

X හි පළ වුණු වීඩියෝවකින් පෙනී යන්නේ ෂාරුක් සිය තනි ඡායාරූපයක් ලබා ගැනීම වෙනුවෙන් ඉඩ ලබා ගැනීම සඳහා අසල සිටින වයෝවෘද්ධ පුද්ගලයකු තල්ලු කරන ආකාරයයි.

ඒ සමග ඔහුගේ එම හැසිරීම හෙළා දකින ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමට පටන් ගෙන තිබුණේ එය උඩඟු සහ අශික්ෂිත ක්‍රියාවක් ලෙස හඳුන්වා දෙමිනි.

එක් X පණිවිඩයක සටහන් වුණේ “ඔහු අර වයෝවෘද්ධ පුද්ගලයාතල්ලු කළා!!! ලැජ්ජයි ෂාරුක් ඛාන්,” යනුවෙනි.

ඇතැමුන් ඔහුට අහංකාරකම සහ රළු බව ගැන චෝදනා කර තිබිණි.

එහෙත් ඔහුගේ සමහර රසික රසිකාවියන් පවසන්නේ ‘කිං ඛාන්’ විනෝදජනක මනෝභාවයකින් සිටි බවත් ඔහු අදාළ පුද්ගලයා දැඩි ලෙස තල්ලු නොකළ බවත්ය.

වීඩියෝව සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ව්‍යාප්ත වීමෙන් පසු විවිධ ප්‍රකාශවලින් කියවුණේ අදාළ වයෝවෘද්ධ පුද්ගලයා ෂාරුක්ගේ දිගුකාලීන මිතුරකු බවය.

කෙසේවෙතත් මෙම ක්‍රියාව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංවාදය තවමත් තිබේ.