42.31%
17.27%
32.76%
October 9, 2023

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට පෙරේදා (07) දහවල් ඇතුළු වී, එහි සිටි සේවිකාවන් දෙදෙනාට පොල්ලකින් පහරදී ගෙල මිරිකා ඝාතනය කර, නිවසේ තිබූ කෘතීම ආභරණ සහ විදේශීය කාසි 12ක් සොරකම් කරගෙන ගිය බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි මාතර පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, පාලටුව මාලිම්බඩ අගලවත්තේ පදිංචිව සිටි කොටවිල විතාරණගේ නිමලාවතී (67) හා වල්ගම මාතොටගම පදිංචිව සිටි හේවා පින්නදුවගේ විමලාවතී (70) නැමැති කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් එම නිවසේ නාන කාමරයක සහ වැසිකිළියක මරාදමා ඇති අයුරු ගෙහිමි කාන්තාව දැක පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව, පරීක්ෂණ ආරම්භ කළ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් ඒ අසල නිවසක සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කර ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර මහ නගර සභාවේ තාවකාලික කම්කරුවෙක් ලෙස සේවය කර ඇති 25 හැවිරිදි සැකකරු, මීට මාසයකට පමණ පෙර ව්‍යාපාරික නිවසේ ගස් කැපීමට පැමිණ ඇති අයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරික කාන්තාව මාතර නගරයේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරික ආයතනයකට පැමිණි අවස්ථාවේදී සැකකරු නිවසට ඇතුළු වී ඇති බව සඳහන් වේ.

එහිදී සේවිකාවක මීට පෙර ගස් කැපීමට පැමිණි පුද්ගලයා බවට සැකකරු හඳුනාගෙන ඇති අතර, එම අවස්ථාවේ ඔහු ඇයගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

ඇයගේ කෑ ගැසීම ඇසී අනෙක් සේවිකාව ද එම ස්ථානයට පැමිණ ඇති අතර, සැකකරු ඇයගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව උසස් පොලිසිය සඳහන් කරයි.

ඉන්පසු සැකකරු නිවාස තුළ පැය තුනක පමණ කාලයක් රැඳී සිටිමින් මුදල් හා රන් ආභරණ සෙවීමට පටන්ගෙන ඇති බව සඳහන් වේ.

පසුව ඔහු රන් ආභරණ යැයි සිතා කෘත්‍රිම (ඉමිටේෂන්) ආභරණ ද රට කාසි 12ක් ද නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රයක් ද ගලවා සොරාගෙන ගොස් ඇත.

සවස 06ට පමණ ව්‍යාපාරික කාන්තාව නිවසට පැමිණි පසු මෙම අපරාධය දැක තිබේ.

ඇයගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර, වසර 15ක පමණ කාලයක් තිස්සේ නිවසේ වැඩට සිටි සේවිකාවන් දෙදෙනා සමඟ ඇය වාසයකර ඇත.

ඝාතනයට ලක්වූ සේවිකාවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මාතර තුඩාවේ පදිංචි 25 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් කෘත්‍රිම ආභරණ, රට කාසි සහ ඩී.වී.ආර්. යන්ත්‍රය පොලිසිය සොයාගෙන තිබේ.

42.31%
17.27%
32.76%