October 23, 2023

ඇමැතිධූර වෙනස් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ‘වැරදි තීරණයක්’ බවත්, නවතම ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ල පළකරන බවත්, එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වැරදි බව ඔහු පවසයි.

අද (23) පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

මහලේකම්වරයා එහිදී මෙසේද පවසා තිබේ.

“කෙහෙළිය ඇමැතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමති ලෙස පත්කරලා තියෙනවා.

කෙසේවෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමැති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමැති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ.

ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි. ඒක වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට ඒක නොකර ඉන්න තිබුණා. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළකරනවා.”

42.31%
17.27%
32.76%