August 23, 2024

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් හතරදෙනා දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් එබැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමුකර ඇප ලබා දෙන ලෙසත් එම සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව මෙලෙස සැකකරුවන්ගේ මානසික සඳහා ශාරිරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීම ඉල්ලීම් කිරිමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නේ, බාල ඖෂධ සැපයූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් සහ ජාතික නියාමන අධිකාරියේ ඖෂධ නියාමන හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයයි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ රත්න කුමාර ධර්මසිරි හේරත් සහ වෛද්‍ය විජිත් ගුණසේකර යන අය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කරුණු දක්වමින් සිද්ධියට කාලයක් පුරා රිමාන්ඩ් භාරයේ පසුවන තම සේවාදායකයන් මානසික, දියවැඩියා, විකලංග ඇතුළු සර්වාංග රෝගවලින් පීඩා විඳින බවත්, ඒ බව පරික්ෂා කිරීම සඳහා ඔවුන් ඒ වෙනුවෙන් විශේෂඥතාව දක්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලීමෙන් පසු එම ඉල්ලීම් මෝෂන් පත්‍රයක් මගින් දැනුම් දෙන්නැයි නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත්කළ අතර මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමට නියම කළාය.