January 2, 2024

හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) ගනුදෙනුව මෙහෙයවූ බවට චෝදනා එල්ල වීමත් සමඟ, ඊට අදාළ කරුණු සනාථ වුවහොත් හිටපු ඇමැතිවරයාට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහතික වී ඇත.

අදාළ එන්නත් තොගය සැපැයූ Isolez Biotech Pharma AG (Private) Limited සමාගමේ හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු පසුගිය සතියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කියාසිටියේ රඹුක්වැල්ලගේ උපදෙස් මත මෙම ගනුදෙනුව සිදුකර ඇති බවට තම සේවාදායකයන් හෙළිකර ඇති බවයි.

මෙවන් පසුබිමක, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පැමිණෙන්නේ කාගේ විෂය පථයටද යන්න පිළිබඳව ‘ඩේලි මෝර්නින්’ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ගෙන් විමසා ඇත්තේ, ඉහත කී සැකකරුවන් රඹුක්වැල්ලට එල්ල කර ඇති චෝදනාව පිළිබඳව රහස් පොලිසියේ අවධානය යොමු වී ඇත්ද යන්නයි.

ඔහු ඊට මෙලෙස පිළිතුරු ලබාදී ඇත.

“කවුරුහරි උසාවියේදී මේක කියලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරීක්ෂණ සිදුකරනවා. ඔහු (රඹුක්වැල්ල) එවැනි උපදෙස් ලබාදී ඇති බව ඔප්පු වුවහොත් අවශ්‍ය පියවර ගන්නවා.”

Isolez Biotech Pharma AG (Pvt.) Ltd නමැති දේශීය සැපයුම්කරු විසින් රේගු නිෂ්කාශනය සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර එය ආනයනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ අදාළ එන්නත් කාණ්ඩයක් භාවිතය අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර MSD අධ්‍යක්ෂ ශාන්ති සොලමන්, MSD හි ගණකාධිකාරී (සැපයුම්) නිරාන් ධනංජය සහ MSD හි ඖෂධවේදී සුජිත් කුමාර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ඇත.

එම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමත් සමඟ අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, පසුගිය සතියේ ජනක චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ චෝදනා කළේ දේශපාලන හිතවත්කම් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බවත්, අපරාධයට සම්බන්ධ සැබෑ අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

42.31%
17.27%
32.76%