June 19, 2024

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යංශය මගින් නිකුත් කොට තිබූ නිල රථ 02ක්, ඇමැති ධූරය අහිමිවීමෙන් පසුව ද ආපසු භාරනොදී අවභාවිත කරන බවට සිවිල් පුරවැසියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අල්ලස් කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයේ දී හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල වෙත 2022 මැයි මස සිට සෞඛ්‍ය ඇමැති ධූරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් ඇමැතිවරයාට හා කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන කිහිපයක්ම 2023.10.23 දින සිට පරිසර ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව රැගෙන ගොස් එම අමාත්‍යංශය යටතේ භාවිත කර ඇති බව හෙළිව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දිගින් දිගට සිදුකර ඇති දැනුම්දීම් වලින් අනතුරුව ඇමැතිවරයාට නිල රථ ලෙස නිකුත් කොට තිබූ මර්සිඩීස් බෙන්ස් කාර් රථය සහ ලෑෂර් V -8 ජීප් රථය හැර කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබූ අනෙකුත් රථ ආපසු භාර දී ඇතත්, 2024 පෙබරවාරි 03 දින සිට හෙතෙම සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණ ද ඉහත නිල රථ 02 ආපසු භාර දී නොමැති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව, එම නිල රථ දෙක මෙතෙක් භාරනොගැනීමට හේතුව සහ එහි වත්මන් භාරකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හා පරිසර අමාත්‍යංශ ලේකම්වරුන් මගින් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

කෙසේවෙතත්, ඉහත නිල රථ 02 දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ලේකම්වරියක මාර්ගයෙන් 2024.05.24 දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය වෙත භාර දී තිබේ.

ඒ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අනාවරණය වී ඇත.

මේ වන විට ඉහත නිකුත් කොට තිබූ නිල රථ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භාරයේ ඇති අතර, එම නිල රථ අවභාවිතයක් සිදුව තිබේ ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කටයුතු සිදු වෙමින් පවතී.

42.31%
17.27%
32.76%