June 20, 2024

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපාගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමුකොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි.

අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවෙස ගිනිතබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව රැඳීසිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති නිල නිවෙස ලබාදී තිබේ.

එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධුරයේ සහ පරිසර අමාත්‍ය ධුරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාළ මුදල් මධ්‍යම පළාත් සභාවට අයවී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

හිටපු ඇමැතිවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතර වී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත්, ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ
මාදිවල මන්ත්‍රී නිවාසවල මුදල් අයකර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාසවල මුදල් අයකර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවත්ය.

එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළකර ලිපියක් ලබාදෙන්නේ නම් එම මුදල් අයකර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බවයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ඇමතිවරයාගේ ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපාගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමුකර ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%