January 7, 2024

මහ කන්නයේ අපේක්ෂිත අස්වනු ලැබීමත් සමඟ මාර්තු මස අවසන් වන විට දැනට පවතින කීරි සම්බා හිඟය පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මහ කන්නයේ හෙක්ටයාර 780,000ක වී වගා කර ඇති අතර, හෙක්ටයාර් 80,000ක් විශේෂයෙන් කීරි සම්බා වගාව සඳහා වෙන්කර ඇත.

සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම කන්නයේ මුළු කීරි සම්බා අස්වැන්න ලෙස මෙට්‍රික් ටොන් 350,000ක් අපේක්ෂා කෙරේ.

සියලුම සහල් වර්ගවල මිල විශාල ලෙස ඉහළගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර පළාතේ බහුලව භාවිත වන සහල් ප්‍රභේදයක් වන කීරි සම්බාවල හිඟයක් පසුගිය මාස කිහිපය පුරාම පැවතිණි.

සමහර ප්‍රදේශවල සහල් ප්‍රභේදය ඇතත් මිල අධික ලෙස ඉහළ මට්ටමක පවතින අතර ඇතැම් ප්‍රදේශවල එම සහල් කිලෝග්‍රෑමයක් රු.360 හෝ ඊටත් ඉහළ වේ.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැහැදිලි කළේ කීරි සම්බා යනු සීමිත ප්‍රදේශවල වපුරන ලද සුවිශේෂී සහල් ප්‍රභේදයක් වන බැවින් සියලුම තොග පාහේ මෝල් හිමියන් විසින් එකතුකරගෙන ඇති බවයි.

දෙසැම්බර් මාසයේදී කීරි සම්බා සඳහා ඉල්ලුම සාමාන්‍යයෙන් ඉහළ යන අතර මෝල් හිමියන් තොග රඳවා තබා ගනිමින් ඉහළ මිලක් යටතේ සහල් නිකුත් කරයි.

“අපට පාරිභෝගික කටයුතු අධිකාරියක් තිබෙන්නේ මේ නිසයි, මේ ප්‍රශ්න ගැන සොයා බලා අවශ්‍ය පියවර ගතයුතුයි” ඇමැති මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු කියා සිටියේ හිඟයට පිළියම් යෙදීම සඳහා කීරි සම්බා ආනයනය කිරීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

කෙසේවෙතත්, කෘෂිකර්ම ඇමැති අමරවීර අවධාරණය කළේ කීරි සම්බා යනු ශ්‍රී ලංකාවේ පමණක් පවතින දේශීය සහල් ප්‍රභේදයක් බවයි.

“අපිට කීරි සම්බා ආනයනය කරන්න බැහැ. අපි ආනයනය කරන්නේ පොන්නි සම්බා,” යැයි ඔහු පැවසීය.

 

42.31%
17.27%
32.76%