January 18, 2025

කතරගම ප්‍රදේශයේ දේපළක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබිණි.

මීට පෙර එම කාරණය සම්බන්ධයෙන්ම ප්‍රශ්න කිරීමට යෝෂිත රාජපක්ෂවද කැඳවා තිබිණි.

පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ CIDයෙන් පිටව ගියේය.

ඔහු වෙනුවෙන් එහි පැමිණ සිටි නීතිඥයෙක් ජනමාධ්‍ය ඉදිරියේ කියාසිටියේ ගෝඨාභය රාජපක්ෂ මෙම චෝදනාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, “ඔය කියන කාලයේදී” ගෝඨාභය ලංකාවේ නොසිටි බවත්ය.

කෙසේවෙතත් CID සිදුකරන මෙම විමර්ශනයට අදාළව සැබෑ කතාව අතීතයේ වැලිතලාවට යටව ගොස් නැත.

කතරගම මෙම ඉඩම සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කෙරුණේ ‘ලංකා’ පුවත්පත විසින් 2010 වසරේදීය.

එවකට රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ වූ අතර, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විය.

මෙම ඉඩම ගැන වාර්තා කිරීමෙන් අනතුරුව ලංකා පුවත්පත් කාර්යාලයට CID නිලධාරීහු කඩාවැදුණහ.

පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අත්අඩංගුවට ගැනිණි.

තමාගේ සම්බන්ධයක් “නෑ” කියා ගෝඨාභය රාජපක්ෂ දැන් ප්‍රකාශ කළද ලංකා පුවත්පතද තහනම් කෙරිණි.

පහතින් දැක්වෙන්නේ එම අතීත සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී ශාලික විමලසේන සිය ෆේස්බුක් ගිණුමේ මතකය අවදිකර තිබුණු ආකාරයයි.

මෙහි දැක්වෙන්නේ ජනමාධ්‍යවේදී දයා නෙත්තසිංහ විසින් මෙම කතරගම ඉඩම සම්බන්ධයෙන් අනාවරණය කළ ආන්දෝලනාත්මක ‘ලංකා ලිපියයි’

“කතරගම මැණික් ගඟ රක්ෂිතයේ ඉඩමක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන, රජයේ දේපොළ යොදාගනිමින් එහි ඉදිකිරීමක් කිරීම ගැනත්, එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ඇති බැඳීම ගැනත් ජල සම්පාදනයේ බිල්පත් ඇතුළු සාක්ෂි සහිතව ලංකා පුවත්පත මගින් අනාවරණය කරන ලද්දේ 2010 ජනවාරි මාසයේ මුල ය.

2010 ජනවාරි 26 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා පුවත්පත් කාර්‍යාලයට පැමිණියේ නැත. කඩාවැදිණි. එවකට ලංකා කර්තෘ මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීම්, ලේඛකයා සෙවීම්, තොරතුරු මූලාශ්‍ර සෙවීම් සියල්ලෙන් පසු, එවකට ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනිණි. ලංකා පුවත්පත් කාර්‍යාලයට සීල් තැබිණි. කර්තෘවරයා දින 18ක් රැඳවුම් භාරයේ තබාගැනිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වැඩේට සෑහෙන ජනතා මුදල් ප්‍රමාණයක් යෙදවීය.

ඒ දින අතරින් එක් දිනක ලංකා පුවත්පතේ සාමාජිකයෝ හෝමාගම ක්‍රීඩාංගනයක ක්‍රිකට් ගැසූහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු එහි පැමිණ කර්තෘවරයා සෙවූහ. අප වැනි පොඩි’වුන් පස්සට කොට, ඔවුන්ට පිළිතුරු දුන්නේ එවකට ප්‍රවෘත්ති කර්තෘ නයන තරංග ගමගේ ය.

‘චන්දන සිරිමල්වත්ත ක්‍රිකට් ගහන්න… එහෙනං ඉතිං මොනව කරන්න බැරිද?’

ක්‍රිකට් නොගැසූ චන්දන සිරිමල්වත්ත තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් හුඟක් – හුඟක් දේ කළ කර්තෘවරයෙකි.
දැන් ඒ ඉඩම ගැන දෙසැම්බර් 27 හිටපු ජනාධිපති ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නිආරච්චිගෙන්, ජනවාරි 03 යෝෂිත රාජපක්ෂගෙන්, අද (17) ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ගැනිණි.

එහෙත්,
මේවා වටේ නොයවා කඩිනමින්, ඉලක්කයක් සහිතව විමර්ශනය කොට අවසන් කළ යුතුය. එසේ නොකළහොත් මේවාගෙනුත් කට්ටියකගේ කල්ල මරේ ය. 2015 ආණ්ඩුව කළේ වටේ යවන එක ය.”

May be an image of ticket stub and text

42.31%
17.27%
32.76%