September 10, 2024

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය සිය පිළිකා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ඇයගේ වීඩියෝවක් මෙලෙස නිකුත් කරමින් කේට් කුමරිය එම අදහස් පළකර ඇත්තේ කෙන්සිංටන් මාලිගයේ සිට බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.

වීඩියෝව මගින් කේට් කුමරිය පවසා ඇත්තේ ඇය සිය chemotherapy ප්‍රතිකාර ක්‍රමය සම්පූර්ණ කළ බවයි.

එමගින් තමන්ට යම් සහනයක් හිමිව ඇති බව ද කේට් පවසා තිබේ.

කේට් ඉකුත් මාර්තු මාසයේදී හෙළිකළේ ඇය පිළිකා රෝගී තත්ත්වයක් සඳහා තමා ප්‍රතිකාර ලබමින් සිටින බවත්, මේ වසරේ වැඩි කාලයක් සිය රාජකීය සේවා කටයුතුවලින් ඈත්ව සිටි බවත්ය.

කෙසේවෙතත් කේට් මිඩ්ල්ටන් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත රාජකීය උත්සවයක් සහ ඉන් අනතුරුව පැවැත්වෙන වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය සඳහා සහභාගී වනු ඇතැයි පැවසේ.

කෙසේවෙතත් අදාළ වීඩියෝ පණිවිඩය මගින් ජනතාවට පවසා ඇත්තේ, තමන්ට මෙම වසර ඇදහිය නොහැකි තරම් දුෂ්කර බව හා තත්ත්වය ක්ෂණයකින් වෙනස් වෙමින් පැවැති බව ය.

කේට්ගේ සෞඛ්‍යය පිළිබඳ මෙම නවතම යාවත්කාලීන කිරීම ඇයගේ ප්‍රගතිය පිළිබඳ ධනාත්මක පණිවිඩයක් බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය පවසයි.

කෙසේවෙතත් කෙන්සිංටන් මාලිගය පෙන්වා දී ඇත්තේ, ඇය පිළිකාවෙන් සුවය ලබා ඇති ද යන්න මේ අවස්ථාවේදී පැවසිය නොහැකි බවයි.