April 27, 2025

ජම්මු – කාශ්මීරයේ ඉන්දීය පාලිත ප්‍රදේශයේ දී පසුගිය සතිය මුලදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු මිය යෑමේ සිද්ධියෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ‘සහයෝගීතාව සහ බෙදාගත් කැපවීම’ ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා දුන් එම ඇමතුමේ දී ජනාධිපති දිසානායක ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සිටින බවය.

කොළඹදී ඉන්දු-ලංකා ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් සති කිහිපයකට පසු ජනාධිපති දිසානායකගේ මෙම අදහස් පළ කිරීම සිදුව තිබිණි.

රජය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ අනුමැතියකින් තොරව ඉන්දු-ලංකා ආරක්ෂක අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධ කළ නොහැකි බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ‘අන්තර් සම්බන්ධිත සහ සහජීවනයෙන් යුක්ත’ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, එම අදහස් මෙරට විරුද්ධ පක්ෂ සහ දේශපාලන විශ්ලේෂකයන් විසින් විවේචනාත්මකව සටහන් කර තිබිණි.

එම රහසිගත ගිවිසුම ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය බිඳ දැමීමක් ලෙස ඔවුන් හඳුන්වා දී තිබිණි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ එය ‘ආරක්ෂක ගිවිසුමක්’ නොව ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් බවයි.

එම අවබෝධතා ගිවිසුමේ සියලු විස්තර විස්තරාත්මකව පැහැදිලි කර ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි.

අගමැති මෝදිගේ සංචාරයෙන් පසු ලබා දුන් කෙටි සටහනක, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ මෙම අවබෝධතා ගිවිසුම අඛණ්ඩ ආරක්ෂක හුවමාරු සහ ක්‍රියාකාරකම් ඇතුළත් සියල්ල ආවරණය වන ලේඛනයක් වන අතර එය පුහුණුව සහ ධාරිතා වර්ධනය, සේවා කාර්ය මණ්ඩල සාකච්ඡා, ඒකාබද්ධ අභ්‍යාස, අන්‍යෝන්‍ය වරාය ඇමතුම්, ද්විපාර්ශ්වික සංචාර සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාවයට අදාළ ක්‍රියාවලීන් විධිමත් කිරීමට උපකාරී වනු ඇති බවයි.

මේ අතර, විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම අවබෝධතා ගිවිසුම සාමාන්‍ය සහයෝගිතා ගිවිසුමක් බවත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර වර්ධනය වන තත්ත්වයට සමාන තත්ත්වයන් සමඟ එහි කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

ශ්‍රී ලංකාව මේ කාරණය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින බවත්, දැනට නිල සන්නිවේදනයක් අපේක්ෂා නොකරන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත්, පාකිස්ථානය දේශසීමා ත්‍රස්තවාදය උසිගැන්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය චෝදනා නගා තිබේ.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර නව ආතතියක් ගොඩනැගෙමින් තිබෙන මොහොතක ශ්‍රී ලංකාව ඉන්දියාවේ පැත්තේ සිටිමින් X පණිවිඩයක් ද නිකුත් කර තිබිණි.

ප්‍රහාරවලට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ පාකිස්ථානය පෙන්වා දුන්නේ අහිංසක සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් තම හමුදාව ඉලක්ක කරගෙන ඇති බවය.

1947 දී උප මහාද්වීපය බෙදීමෙන් පසු දෙරට විසින්ම තරඟ කරන ලද දර්ශනීය ජම්මු – කාශ්මීර රාජ්‍යයේ ස්වෛරීභාවය තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනමත විචාරණයක් ඉල්ලා තිබිණි.

ඉන්දු ගඟ මගින් පාකිස්ථානයට බෙදාහැරි ජලය කපා හැරීම ඇතුළු පළිගැනීමේ පියවරයන් සමඟ ඉන්දියාව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ බැවින්, දෙරටම ‘උපරිම සංයමයකින් ‘ කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ.

ඉන්දියාව විසින් පකිස්ථාන සංචාරකයන් සඳහා වීසා නවතා දමා ඇති අතර දෙරට අතර මාර්ග සම්බන්ධතා ද වසා දමා ඇත.