September 20, 2024

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ නව ජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කන්තලේ මූලික රෝහලේ නව ජන්ම රෝග වාට්ටුව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

නව ජන්ම රෝග වාට්ටුවක් යනු අලුත උපන් බිළිඳුන්, විශේෂයෙන් නොමේරූ හෝ සෞඛ්‍ය ගැටලු ඇතිව ඉපදුණු ළදරුවන් රැකබලා ගැනීම සඳහා විශේෂිත වූ ඒකකයකි.

ආරංචි මාර්ගවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලින් පරිබාහිරව විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

මේ නිසා විශේෂඥ වෛද්‍යවරයකු පත් කරනතුරු එම වාට්ටුවට අලුතින් රෝගීන් ඇතුළත් කර නොගන්නා බව පැවසේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ නව ජන්ම වෛද්‍ය අංශයේ එම ඒකකය ද වැසීගොස් ඇත.

වත්මන් රෝගීන් වෙනත් අංශවල වෛද්‍යවරුන් විසින් රැකබලා ගන්නා අතර හදිසි අවස්ථා කළමනාකරණය හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය හරහා සිදු කරන බව ආරංචි මාර්ග පවසයි.

තවද, කන/නාසය/උගුර, අක්ෂි හා හෘද රෝග අංශවල සාමාන්‍ය ඇතුළත් කිරීම්වලට බලපෑම් එල්ල වෙමින් තිබීම අර්බුදය තවත් උග්‍ර කරන බව වාර්තා වේ.

අර්බුදයට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ මේ පිළිබඳ සොයා බලන බවයි.