January 6, 2024

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් ඇමැතිවරයා පෙන්වාදෙන්නේ 2024 ජනවාරි 03, 04, 05 යන දිනයන්හිදී ඇතැම් සේවකයන් විසින් සිදු කරන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ පොදු සේවාවන්, මහජන සේවා සපයන කාර්යාල පවත්වාගෙන යෑමට බාධා වන අයුරින් ගෙවීම් කවුළු වසා දැමීම සහ එම කාර්යාලවල කටයුතු අඩාළ වීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි.

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලි සැපයුමට අදාළ සියලුම සේවාවන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් විදුලිබල මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සේවකයන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

2024.01.02 දින සිට සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී සැලසුම් සහගතව සහ නීති විරෝධී ලෙස නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ ක්‍රියාකාරකම්වලට සහභාගී වී සේවා පවත්වාගෙන යෑමෙන් වැළකුණු සේවකයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ඔවුන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇමැතිවරයා සිය ලිපිය මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

 

 

42.31%
17.27%
32.76%