42.31%
17.27%
32.76%
April 11, 2024

ඇමැති මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලද සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා නොකළ බවට ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට චෝදනා කරයි.

පසුගිය සඳුදා (8) පැවති කැබිනට් රැස්වීමේදී එකී පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා නිවේදනය කර තිබිණි.

විදුලිබල අංශයේ නව ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කිරීමටත් පසුව එය වැඩිදුර සළකා බැලීම සහ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඇමැති මණ්ඩල අනුමැතියෙන් අමාත්‍යංශයට නියම කර තිබේ.

පනත් කෙටුම්පත මේ සතියේ ගැසට්කර අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය ඉදිරිපත් කිරීමෙන් පසු, පනත් කෙටුම්පත පරීක්ෂා කිරීමට සහ අභියෝග කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් ලැබෙනු ඇති බව ඇමැතිවරයා සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබිණි.

මේ පසුබිම යටතේ අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේ අමාත්‍යංශය විසින් දකුණු සහ බස්නාහිර පළාත්වල ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ඇතැම් වෘත්තීය සමිතිවලින් උපදෙස් ලබාගෙන ඇති නමුත් බහුතරයක් නියෝජනය කරන පොදු වෘත්තීය සමිතියෙන් අදහස් විමසා නොමැති බවයි.

පාර්ශ්වකරුවන්ගේ අදහස් අනුව පනත් කෙටුම්පත සංශෝධනය වන බව අමාත්‍යංශය ප්‍රකාශ කළද යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය සහ අරමුණු වෙනස් වී නොමැති බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති මෙම පනත් කෙටුම්පතට කිසිදු විරෝධයක් දක්වා නොමැති බවත්, එබැවින් ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම්වල සහය ඇතිව පනත් කෙටුම්පත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම Adani සමූහ ව්‍යාපාරයට ලබාදීමට විජේසේකර ඇමැතිවරයා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බවත්, එබැවින් යෝජිත පනත් කෙටුම්පත ‘ඉන්දියානු සම්භවයක්’ සහිත නීති සම්පාදනයක් බවටත් ඔහු චෝදනා කළේය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව පවසමින් ඔහු සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතේ ප්‍රතිවිපාක පරම්පරා ගණනාවකට පවතිනු ඇති බවයි.

(The Daily Morning)

42.31%
17.27%
32.76%