April 11, 2025

2025 අප්‍රේල් 12 වැනි දින ගැබොන්හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් අයකු ලෙස කෙන්යාවේ හිටපු මහකොමසාරිස් කනනාදන්ට ආරාධනා කර ඇත.

වසර 56ක පාලනයෙන් පසු 2023 ඓතිහාසික කුමන්ත්‍රණයකින් පෙරළා දැමූ බොංගෝ රාජවංශයේ අවසානයෙන් පසු එරට පැවැත්වෙන පළමු මැතිවරණය මෙම ජනාධිපතිවරණයයි.

ගැබොන්හි 2025 ජනාධිපතිවරණයේ නිරීක්ෂක මෙහෙයුමට ප්‍රමුඛ අන්තර්ජාතික සංවිධාන සහ නායකයන් සහභාගී වීමට නියමිතය.

ඒ අතරින් පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සීෂෙල්ස් හි හිටපු ජනාධිපති ඩැනී ෆෝරේ විසිනි.

කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය සහ දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මැතිවරණවල වැදගත්කම අවධාරණය කරමින් බටහිර අප්‍රිකානු කලාපීය කන්ඩායමක් වන ECOWAS ද නිරීක්ෂක සන්ධානයේ කොටසක් ලෙස සහභාගී වනු ඇත.

කෙන්යාව, සියෙරා ලියොන්, නයිජීරියාව, සිම්බාබ්වේ, ලයිබීරියාව සහ සෙනගල් ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක මැතිවරණ නිරීක්ෂකයකු ලෙස මීට පෙර සේවය කර ඇති තානාපති කනනාදන් මෙම මෙහෙයුමට සහභාගී වන්නේ අත්දැකීම් සම්භාරයක් ද සමගය.

ගැබොන් නව දේශපාලන පරිච්ඡේදයක් සඳහා සූදානම් වන විට, අන්තර්ජාතික නිරීක්ෂකයින්ගේ පැමිණීම මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට සහ රට වඩාත් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියකට මාරුවීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.