February 19, 2025

2025 අයවැයෙන් යෝජනා කර ඇති පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක් මේ වසර ඇතුළත රජයට පිහිටුවුව හොත් තමාගේ කණ කපාගන්නා බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අභියෝග කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියාසිටියේ, රජය රාජ්‍ය සංවර්ධන බැංකුව සම්බන්ධයෙන් කිසිදු වැඩිදුර තොරතුරක් සඳහන් කර නොමැති අතර, රජය සතුව ඊට අවශ්‍ය මුදල් තිබේද සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව වැඩිදුරටත් තමන් ප්‍රශ්න කරන බවයි.

“මේ වසර ඇතුළත රාජ්‍ය සංවර්ධන බැංකුව පිහිටුවුවහොත් මම මගේ කණ කපාගන්නවා,” ඔහු පැවසීය.

මේ අතර, කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියාසිටියේ, ආණ්ඩුව බැංකුව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරයාගේ දිව කපාගැනීමට සිදුවනු ඇති බවයි.

යෝජිත රාජ්‍ය සංවර්ධන බැංකුව සඳහා රුපියල් බිලියන 50 ක් වන අරමුදල් වෙනුවෙන් රාජ්‍ය බැංකු තුනක් සමඟ මේ වනවිටත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

මූලික පියවරක් ලෙස ප්‍රාදේශීය බැංකුවක් විසින් ගොවීන් 15,000ක් ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන ඇති බවත්, රාජ්‍ය සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රයෝජනය සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය.

ඉකුත් සඳුදා 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින රාජ්‍ය බැංකු ක්‍රමය යටතේ රාජ්‍ය සංවර්ධන බැංකුව පිහිටුවන බවයි.