March 17, 2024

ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී ටෙන්ඩර් හරහා එම අංශය විවෘත කරන ලෙස ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලා ඇත.

දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් 50ක පමණ නියෝජිතයන් විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක හමුවී ඉල්ලා ඇත්තේ, ඔවුන්ට තරඟ කළ හැකි පරිදි ආයෝජන සඳහා ඇති සියලු අවස්ථා ප්‍රසිද්ධ කරන ලෙසයි.

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බලාගාරයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මේ සතියේ යෝජනා කැඳවා ඇත.

අන්තර්ජාතික තරඟකාරී ලංසු තැබීම යටතේ බලාගාරය ගොඩනැගීම, අයිතිය පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මූල්‍ය හා තාක්ෂණික හැකියාව ඇති සුදුසු සංආයෝජකයන් මේ වන විට සොයමින් සිටී.

උපපොළවල් 20කට සම්බන්ධ කිරීම සඳහා මෙගාවොට් 165 MW සම්පූර්ණ ධාරිතාවයකින් යුත් පොළොව මත සවී කෙරෙන සූර්යබල බලාගාර සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු තැබීම යටතේ අනාගත ආයෝජකයන්ගෙන් විදුලිබල මණ්ඩලය යෝජනා කැඳවා ඇත.

එක් බලාගාරයක ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 1-5 ත් අතර පරාසයක තිබිය යුතුය.

“ඔවුන් ටෙන්ඩර් දෙකක් ඉදිරිපත්කර තිබුණත් ඉල්ලුම් නොකළ යෝජනා හරහා ගිගාවොට් 1ක පමණ වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. එමඟින් ලබාගත හැකි ජාල ධාරිතාව වේගයෙන් ඉහළ යන්න පුළුවන්.ඔවුන් ප්‍රචාරය කර ඇත්තේ මෙගාවොට් 215ක් සඳහා පමණයි. ගිගාවොට් එකක් කියන්නේ මෙගාවොට් බිලියනයක්.,” යනුවෙන් ජාතික වාණිජ මණ්ඩලයේ බලශක්ති කවුන්සිලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සඳහන් කර තිබේ.

“සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2016 සිට ඉල්ලුම්පත්‍ර 650කට වැඩි ප්‍රමාණයක් විභාග වෙමින් පවතිනවා. ඒවා ඉදිරිපත් කළේ දේශීය පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන් විසින්,” ආචාර්ය ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය වසරේ ජනමාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකළේ, පුනර්ජනනීය බලශක්තිය යෙදවීමට මෙගාවොට් 2700ක ජාල ධාරිතාවක් පවතින බවයි.

සිය ව්‍යාපෘති සමඟ Adani Green Energy Limited ජාල ධාරිතාවයෙන් සියයට 20ක් ලබාගනී.

ඒවා ටෙන්ඩර් මගින් ප්‍රදානය නොකළ අතර එය ‘රජයෙන් රජයට’ ව්‍යාපෘති ගණයට ද නොගැළපෙන බව දේශීය කර්මාන්තය පවසයි.

“ශ්‍රී ලංකාව තුළ උපපොළවල් සහ ට්‍රාන්ස්ෆෝමර් 33,000ක් තිබෙනවා.අමාත්‍යාංශය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි කුමන උපපොළක කුමන ධාරිතා ප්‍රතිශතයක් තිබෙනවද කියලා. එවිට, කැමැත්ත ඇති ඕනෑම පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයකුට එම ප්‍රදේශයට යෑමට, දේපළ මිලදී ගැනීමට සහ ව්‍යාපෘතියක් සඳහා අයදුම් කිරීමට පහසුයි,” යනුවෙන් ආචාර්ය ප්‍රනාන්දු පැහැදිලි කරයි.

මෙගාවොට් 10ට වැඩි ව්‍යාපෘතිවලට ඉල්ලුම් නොකළ යෝජනා ලබාදීමට වත්මන් විදුලිබල මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන නොමැත.

යෝජනා අටක් සමඟින් ලබන සතියේ රජයට ලිඛිත ආයාචනයක් කිරීමට කර්මාන්තකරුවෝ අපේක්ෂා කරති.

“ඕනෑම සංවර්ධිත රටක, විශාල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබා දෙන්නේ තරඟකාරී ලංසු තැබීමේ පදනමක් මත මිසක් තමන්ගේම ගාස්තු සමඟ එන ඉල්ලා නොසිටින යෝජනා සඳහා නෙවෙයි. දැන් මේ කරන දේ ඉතා අප්‍රසන්නයි,” යනුවෙන් ආචාර්ය ලක්මාල් වැඩිදුරටත් සඳහන් කරයි.