October 28, 2024

ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් නිකුත් කර නොමැති බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් අද පැවසුවාය.

නිකුත් ඇත්තේ ආරුගම් බොක්ක ආශ්‍රිතව ගැවසෙන සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් පමණක් බව ද ඇය සඳහන් කළාය.

කොළඹ පැවැති උත්සවයක් අමතමින් අමෙරිකානු තානාපති ජුලී චන්ග් පැවසුවේ සංචාරක උපදේශනය මුළු ශ්‍රී ලංකාවටම නිකුත් කර ඇති බවට නොමඟ යවන සුළු වාර්තා හුවමාරු වී ඇති බවයි.

අමෙරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමාවන් පනවා නොමැති බව ප්‍රකාශ කළ තානාපති චන්ග්, මෑතකදී නිකුත් කරන ලද අනතුරු ඇඟවීම දැඩි ලෙස ආරුගම් බොක්කට පමණක් සීමාවන බව ද පැවසුවාය.

“පසුගිය සතියේ අපගේ ආරක්ෂක අනතුරු ඇඟවීම වූයේ ඇමරිකානුවන්ට නැවත දැනුම්දෙනතුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටීමයි. ආරුගම බොක්ක ප්‍රදේශයේ විශේෂිත තර්ජනයක් පිළිබඳව අපි දැනුවත් වුණා. අපි දන්නා මෙම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් සමඟ බෙදාගත්තා, ඔවුන් ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවා. අපි ඔවුන් සමඟ දිනපතා ක්‍රියාකාරීව සම්බන්ධීකරණය කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ අපගේ හවුල්කාරිත්වය මෙන්ම ආරක්ෂාව සහ විනිවිදභාවය සඳහා ආරක්ෂක නිලධාරීන්ගේ කැපවීම අප අගය කරනවා.” ඇය පැවසුවාය.

මෑතකාලීන අනතුරු ඇඟවීම දැඩි ලෙස ආරුගම් බොක්ක ප්‍රදේශයට පමණක් බව අවධාරණය කරමින් අමෙරිකානු තානාපතිනිය පැවසුවේ, ශ්‍රී ලංකාව පිළිබඳ සමස්ත ආරක්ෂක සංචාරක උපදේශනය 2 වැනි මට්ටමේ පවතින බවයි.

ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි මට්ටමේ සංචාරක උපදේශනය ප්‍රංශය, ඉතාලිය සහ මාලදිවයින වැනි අනෙකුත් ජනප්‍රිය සංචාරක ගමනාන්තවලට සමානව වසර කිහිපයක සිට ක්‍රියාත්මක වූ එකක් බව ද ඇය පැවසුවාය.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවන විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව පවසමින් අමෙරිකානු රජය පසුගිය සතියේ එහි පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කිරීමෙන් පසුව ඇයගේ මෙම පැහැදිලි කිරීම සිදුවිය.

අමෙරිකාව නිකුත් කළ සංචාරක උපදේශනය පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියාසිටියේ, ඊශ්‍රායල සංචාරකයින්ගේ පැමිණිම ඉහළයෑම සහ එම සංචාරකයන් ආරුගම් බොක්ක ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් භාවිතය එවැනි සංචාරක උපදේශනයක් නිකුත් කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය පොළඹවා ඇති බවයි.

42.31%
17.27%
32.76%