June 25, 2024

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ සිරෙන් නිදහස් වී තිබේ.

එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ නීතිය කඩ කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීමට එකඟ වීමෙන් පසු ඔහුට ඕස්ට්‍රේලියාවේ සිය නිවස බලා යෑමට අවස්ථාව ලැබී ඇත.

ඒ අනුව 52 හැවිරිදි අසාන්ජ් එක්සත් ජනපද ජාතික ආරක්ෂක ලේඛන ලබා ගැනීමට සහ හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීමේ එක් චෝදනාවකට අමෙරිකාවේ දී වරද පිළිගනු ඇත.

ඔහු එක්සත් රාජධානියේ අධි ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් කර ඊයේ (සඳුදා) ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස් තිබේ.

එකඟතාව අනුව අසාන්ජ් බදාදා උදේ 9ට එක්සත් ජනපද පැසිෆික් ප්‍රදේශයක් වන සයිපාන් හි අධිකරණයක් හමුවේ පෙනී සිටින අතර එහිදී ඔහුට දැනටමත් ගෙවී ඇති මාස 62ක සිරදඬුවමක් නියම වනු ඇත.

ඔහු බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ දින 1901ක් ගත කිරීමෙන් පසු ජුනි 24 වැනි දින උදෑසන පිටව ගොස් තිබිණි.

ලන්ඩනයේ මහාධිකරණයෙන් ඔහුට ඇප ලබා දීමෙන් පසු සවස් වන විට ස්ටැන්ස්ටඩ් ගුවන් තොටුපළේදී ඔහු නිදහස් කළ විට ගුවන් යානයකට නැඟී එක්සත් රාජධානියෙන් පිටත්ව ගොස් ඇත.

“ජූලියන් නිදහස්!!!!” යනුවෙන් ඔහුගේ බිරිඳ ස්ටෙලා X හි සටහනක් ද තබා තිබිණි.

“මෙය සැබෑ කර ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඔබට අපගේ අතිමහත් කෘතඥතාව වචනවලින් ප්‍රකාශ කළ නොහැක. ස්තූතියි. ස්තුතියි, ස්තුතියි.”යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

2006 දී විකිලීක්ස් දියත් කෙරුණේ ලේඛන සහ වීඩියෝ වැනි රහසිගත තොරතුරු නිර්නාමිකව ඉදිරිපත් කිරීමට හැකි මාර්ගගත විස්ල්බ්ලෝවර් වේදිකාවක් ලෙසිනි.

එහි නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ය.