October 18, 2023

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින බැවින්, ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක වීමට සුදුසුකම් නොලබන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අභියාචනාධිකරණය අද ඔක්තෝබර් 31 වැනිදාට කල්තබනු ලැබීය.

අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සමේ තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළේ, මෙම පෙත්සම පිළිබඳ තීන්දුව ඔක්තෝබර් 31වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි.

2023 ජූනි 06 වැනිදා අභියාචනාධිකරණය මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි 25 වැනිදාට කල් තැබීය.

ජූලි 25 වැනි දින අභියාචනාධිකරණයේ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් බෙදී තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට නියෝග කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනුකළේ, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත්, එම නිසා ඇයට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම නඩුවේදී පෙත්සම්කරු කියාසිටියේ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත්, බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් දැරිය හැක්කේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් බවත්ය.

පෙත්සම්කරු කියාසිටියේ, වෙනත් රටක පුරවැසිභාවය ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වී ඇති බවයි.

ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බවද පෙත්සම්කරු පැවැසීය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීමට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 90 වැනි ව්‍යවස්ථාව සමඟ කියවා ඇති 91 වැනි ව්‍යවස්ථාව යටතේ සහ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු බව පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියේය.

42.31%
17.27%
32.76%