July 1, 2024

අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාප්පක්‍ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමට දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරු විශාල පිරිසක් ඊයේ (30) කොළඹට රැස්වූහ.

මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය වසර 09ක කාලයකට පසු පැවැත්වූ මෙම විශේෂ මහා සභා රැස්වීමේදී සංගමයේ නිලධාරීන් හුදෙකලා නොකිරීමට මෙන්ම එම නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට ද ඒකමතිකව තීරණය කළ බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන අතරතුර පසුගිය 19 වැනිදා අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ අධිකරණ පද්ධතිය විවේචනය කරමින් කළ ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සඳහන් කරමින් පසුගිය 24 වැනිදා අධිකරණ සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් කෙරුණු අතර ඉන් අනතුරුව එම මාධ්‍ය නිවේදනය නිකුත් කළ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රාසාද කමිටුවට කැඳවන්නැයි විජයදාස රාජපක්‍ෂ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබිණි.

වසර 09ක පමණ කාලයකට පසු අධිකරණ සේවා සංගමය පැවැත්වූ මෙම විශේෂ මහා සභා රැස්වීමට ලංකාව පුරා විසිරි සිටින මහේස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරු අතුරින් අති බහුතරයක් සහභාගි වූ බවද එලෙස පැමිණි පිරිස අතර යාපනය ආදී දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විනිසුරුවරුන්ද සිටි බවද වාර්තා වේ.

අධිකරණ සේවා සංගමයේ සභාපති රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ යන අයගේ මූලිකත්වයෙන් උදෑසන 9.30ට පමණ ආරම්භ වූ මෙම විශේෂ මහා සභා රැස්වීම පස්වරු 1.30 පමණ වනතුරු පැය හතරක පමණ කාලයක් පුරා පවත්වා ඇත.

එම විශේෂ මහා සභා රැස්වීමේදී අදහස් දැක්වූ එහි සාමාජිකයන් සංගමේ විධායක සභාව තීරණ ගනු ලබන්නේ සංගමයේ සමස්ත සාමාජිකයන්ගේ අදහස් අනුව බවත් සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අත්සන් කර නිකුත් කරනු ලබන්නේ සංගමයේ පොදු තීරණයක් අනුව ගත් නිවේදන මිස ඔවුන්ගේ පෞද්ගලික අදහස් නොවන බවටත් අදහස් ඉදිරිපත් කළහ.

සංගමයේ සභාපතිවරයාගේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇති සියලු කරුණු විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව අනුමත කිරීමටද සාමාජිකයෝ කටයුතු කළහ.

විධායක සභාව ගත් තීරණය හා සංගමයේ සහ ලේකම්වරයාගේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇති කරුණු සංගමයේ පොදු තීරණයක් වශයෙන්ද, සංගමයේ පොදු මතය සඳහන් ලේඛනයකට නිලධාරින් දෙදෙනා අත්සන් කළා පමණකැයි වශයෙන්ද යෝජනා ඒකමතිකව සභා සම්මත කළ අතර මාධ්‍ය නිවේදනයට අත්සන් කළ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හුදකළා නොකිරීමටද සංගමයේ සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ.

තමන් සම්බන්ධ නඩු කටයුත්තක් පිළිබඳව සාමාන්‍යයෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අදහස් පළ නොකළත් මෙය ඊට හාත්පසින් වෙනස් වූ තත්වයක් බව අවධාරණය කළ සංගමයේ සාමාජිකයන්, වරප්‍රසාද කමිටුවෙන් මෙතෙක් කිසිදු නොතීසියක් ලැබී නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළනොකිරිමට ද පරිස්සම් වූ බව ද වාර්තාවේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%