January 30, 2025

මහත් ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබාදුන් වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ස්ව-කැමැත්තෙන්ම විශ්‍රාම ගොස් තිබේ.

තවත් වසර කීපයක් සේවය කිරීමට අවස්ථාව තිබියදී ඔහු විශ්‍රාම ගොස් ඇතත් ඊට බලපෑ හේතුන් පිළිබඳව කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

එහෙත් යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අවධාරණය කොට ඉලන්චෙලියන් විනිසුරුවරයාට රජයෙන් සිදු වූ දැඩි අසාධාරණයක් හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරී සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි.

අභියාචනාධිකරණ විනිසුරුවකු ලෙස සේවය කිරීමට ඉලන්චෙලියන් විනිසුරුවරයාට අවශ්‍ය තරමටත් වඩා සුදුසුකම් තිබියදී ඔහු ඊට ඉල්ලුම් කොට ඇතත්, එම තනතුර ඔහුට ලබාදීමට කිසිවකු හෝ මැදිහත් නොවීම නිසා ඔහු සිය සේවයෙන් විශ්‍රාම ගිය බව එම ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

වවුනියාවේ දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් ලෙස සේවය කරමින් සිටියදී ඔහු ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු වශයෙන් උසස්වීමක් ලද අතර ඉන් පසුව යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා ද විය.

එහිදී විද්‍යා දැරියගේ නඩු තීන්දුව ඇතුළු නඩු තීන්දු රැසක විනිශ්චය ලබාදුන් ඉලන්චෙලියන් විනිසුරුවරයා උතුරේ කල් පසු වූ අපරාධ නඩු විශාල සංඛ්‍යාවක් කඩිනමින් විමසීමට ද පියවර ගෙන තිබිණි.

යාපනයෙන් වවුනියාවේ මහාධිකරණ විනිසුරු ධුරයට පත් ඔහු මේ වන විට සිය විශ්‍රාම අයැදුම්පත අධිකරණ සේවා කොමිසම වෙත යවා තිබේ.

ඉලන්චෙලියන් විනිසුරුවරයා මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී ලබාදුන් ආන්දෝලනාත්මක නඩු තීන්දු නිසා ඔහුගේ ජීවිතයට ද තර්ජන එල්ල විය.

යාපනයේ නල්ලූර් කෝවිල පාරේදී ඔහුට පිස්තෝලකරුවකු විසින් වෙඩිතැබූ අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියගියේය.

මේ වන විටත් එම සැරයන්ගේ පවුලේ උදවියගේ බොහෝ වියදම් ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් දරනු ලබයි.

යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉලන්චෙලියන් විනිසුරුවරයා අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට අතුළත් වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.(දිවයින)

42.31%
17.27%
32.76%