March 29, 2025

විමර්ශනාත්මක මාධ්‍යවේදය සඳහා දක්වන සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවේ දූෂණය හෙළිදරව් කිරීමට සහ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටීමට දක්වන නොසැලෙන කැපවීම අගයමින් ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදිනි නාමිනී විජේදාස එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ 2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාවන් (IWOC) සඳහා පිරිනමන සම්මානයෙන් පිදුම් ලබා ඇත.

දශක තුනකට අධික කාලයක් පුරා ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කරන විජේදාස, ඇගේ වාර්තාකරණයේ දී නිරන්තරයෙන් ධෛර්යය සහ අඛණ්ඩතාව පෙන්නුම් කර ඇත.

ඇය සිය පුවත්පත් ගමන ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ මානව බලපෑම ලේඛනගත කිරීමෙන්, යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට හඬක් සපයමිනි.

ඇගේ විමර්ශන කටයුතු රජයේ අක්‍රමිකතා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු තීරණාත්මක ගැටලු කෙරෙහි විහිදී ගිය අතර, ඒවාට බොහෝ විට සැළකිව යුතු පෞද්ගලික අවදානමක් ද ඇත.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2007 දී පිහිටුවන ලද IWOC සම්මානය, සාමය, යුක්තිය, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම වෙනුවෙන් පෙනී සිටීමේදී සුවිශේෂී ධෛර්යය, ශක්තිය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ලොව පුරා කාන්තාවන්ට ගෞරව කරයි.

නාමිනි විජේදාසට මෙම සම්මානය පිරිනැමීම මගින් මෙම මූලධර්ම කෙරෙහි ඇයගේ කැපවීම අවධාරණය කරන අතර වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේදී නිදහස් හා ස්වාධීන මාධ්‍යයක වැදගත් කාර්යභාරය ද ඉස්මතු කරයි.

18 වැනි වාර්ෂික IWOC සැමරුම 2025 අප්‍රේල් 8 වැනි දින ලොස් ඇන්ජලීස් හි ජොනතන් සමාජ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ හවුල්කාරිත්වයෙන් ‘අන්තර්ජාතික අවබෝධය සඳහා වූ අමෙරිකානු කාන්තාව’ සංවිධානය (AWIU) විසින් ඉදිරිපත් කරන ලද මෙම උත්සවය මගින් විජේදාස සහ ඇයගේ සෙසු සම්මානලාභීන්ට ගෞරව කරනු ඇත.