June 26, 2023

කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට තීරණය කර ඇත.

ගාලුමුවදොර පිටියේ යාචකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම ප්‍රදේශයේ පදිංචිකරුවන්, සංචාරකයන්, තරුණ තරුණියන් සහ ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන්ට සැළකිව යුතු ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා පෙන්වා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

“ප්‍රදේශයේ පදිංචිකරුවන්, විදේශ සංචාරකයන්, තරුණ තරුණියන් සහ දරුවන් සිටින පවුල් විවේකය සඳහා එක්රැස් වන ප්‍රදේශය අවට යාචකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගාලු මුවදොර පිටියේ යාචකයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සතිය පුරාවට අමුත්තන් අපහසුතාවයට පත් කරන බව වාර්තා වෙනවා.” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන ලෙස අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සහ පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මේ අතර, ආයතනික සමාජ වගකීම් (CSR) මුලපිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කරන ලෙස ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ අනුබද්ධ ආයතනවලට නියෝග නිකුත් කර ඇත.