November 23, 2023

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන (New Energy Vehicles – NEV) සැපයීම සඳහා ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයකු වන චීනයේ BYD සමඟ සහයෝගීතාවකට එළඹ තිබේ.

මෙම ව්‍යාපාරික සහයෝගීතාවය සඳහා ගිවිසුම් අත්සන් තැබීම චීනයේ Shenzhen හි BYD ගෝලීය මූලස්ථානයේදී සිදුකෙරුණු අතර ඒ සඳහා BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර එක්විය.

මෙම හවුල්කාරීත්වය හරහා ලොව උසස්ම තත්ත්වයේ NEV වාහන මාදිලි ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලාංකේය ජනතාවට ලොව ප්‍රමුඛතම NEV තාක්ෂණයන් සපිරි වාහන අත්දැකීමේ අවස්ථාව ලබාදීමට ඉඩ සලසන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවැසීය.

වර්තමානයේ දී BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක්, රටවල් 70 කට වැඩි ප්‍රමාණයක් සහ නගර 400 කට වඩා වැඩි ප්‍රමාණයක භාවිතයේ පවතී.

2022 වසරේ දී පමණක් BYD විසින් ගෝලීය වශයෙන් නව බලශක්ති වාහන මිලියන 1.86 කට වඩා අලෙවි කර ඇත. 2023 අගෝස්තු 9 වන දින, BYD සිය පනස් ලක්ෂය වෙනි වාහනය නිපදවා ඇති අතර NEV වාහන පනස් ලක්ෂයක් නිෂ්පාදනය කළ ලොව පළමු වාහන නිෂ්පාදකයා බවට ඒ අනුව BYD පත්ව තිබේ.

BYD සමාගම 2023 අවසන් මාස තුන තුළ ලොව විශාලතම විදුලි වාහන (EV) නිෂ්පාදකයා ලෙස ටෙස්ලා අභිබවා යෑමට අපේක්ෂා කරයි.