January 9, 2025

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා හි (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරාගේ නායකත්වයෙන් යුත් ඉහළපෙළේ දූත පිරිසක්, බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පර්යන්ත – 2 සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා හමු වී තිබේ.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා තීරණාත්මක සාධක කෙරෙහි සාකච්ඡාවේ දී අවධානය යොමුවී ඇත.

ව්‍යාපෘති කළමනාකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ සහ උපදේශන සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධාරණය කර තිබේ.

ගුවන් සේවා කර්මාන්තයේ දිගුකාලීන සංවර්ධනයට දායක වෙමින්, ඉහළම ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින් ව්‍යාපෘති නිම කිරීම කඩිනම් කිරීම මෙම පියවරවල අරමුණයි.

බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පර්යන්ත – 2 ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රදේශය පරීක්ෂා කිරීම සඳහා ෂෝහෙයි හාරා ස්ථානීය සංචාරයක ද නිරත විය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම සඳහා ජයිකා හි අඛණ්ඩ කැපවීම ඔහු ප්‍රකාශ කර තිබේ.

එහිදී ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ජයිකා ආයතනය ලබා දුන් නොසැලෙන සහයෝගයට ස්තූති කර ඇති අතර, ව්‍යාපෘතියේ සියලුම පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත අවධාරණය කර තිබේ.

මෙම රැස්වීම ජයිකා සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගම අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා තවත් වැදගත් පියවරක් සනිටුහන් කළේය.

බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පර්යන්ත – 2 ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස තත්ත්වය වැඩිදියුණු කිරීමට උත්සාහ කරන ප්‍රධාන ජාතික ව්‍යාපෘතියකි.

 

42.31%
17.27%
32.76%